Friday, 19 April 2024

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් එළැඹෙන අප්‍රේල් 25 ලෙස මැතිවරණයට දින දැනුම් දී තිබෙනවා- ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව

Posted On Friday, 10 March 2023 16:14

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් එළැඹෙන අප්‍රේල් 25 ලෙස මැතිවරණයට දින දැනුම් දී තිබෙනවා- ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව

 

එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් 2023.03.08 දිනැතිව අංක 2322/28 සිට අංක 2322/52 දක්වා වන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් එළැඹෙන අප්‍රේල් 25 ලෙස මැතිවරණයට දින දැනුම් දී ඇති බවත්, ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන වෙනම මේ සම්බන්ධයෙන් දන්වා ඇති බවත්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ කටයුතුවලට අදාළ අනෙකුත් රාජ්‍ය අයතන අතර ඇතිකරගත් එකඟතාව මත මෙම දිනය නියම කරගත් බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (මාර්තු 10) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ සම්බන්ධයෙන් දන්වා ඇත.

එම නිවේදනයෙන් තවදුරටත් දැනුම් දෙන්නේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය එළැඹෙන දින පහක් තුළ තැපැල් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා ලබාදීමට හා දින 20 – 25ක් තුළ අනෙකුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට හැකි බව දැන්වූ බවත්, SC/FR/69/2023 යන නඩු තීන්දුවට අදාළව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් අවශ්‍ය මුදල් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම දැනුම් දුන් බවත්ය. එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති බවත්, ඒ අනුව ආරක්ෂාව ලබාදිය හැකි යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) මැතිවරණ කොමිසමට දන්වා ඇති බවත්, මෙම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් එකඟ වූ බවද මැතිවරණ කොමිසම දන්වා ඇත.