Friday, 26 April 2024

පළමු මෝටර් රථය සහ විදුලි ත්‍රීරෝද රථය සඳහා ලියාපදිංචි අංකය පිරිනමයි

Posted On Friday, 03 March 2023 18:05

පළමු මෝටර් රථය සහ විදුලි ත්‍රීරෝද රථය සඳහා ලියාපදිංචි අංකය පිරිනමයි

 

විදුලි මෝටර් රථ එක් කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කරමින් පළමු මෝටර් රථය සහ විදුලි ත්‍රීරෝද රථය සඳහා ලියාපදිංචි අංකය පිරිනමයි.

මෙරට ධාවනයට විදුලි මෝටර් රථ එක් කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කරමින් පළමු මෝටර් රථය සහ විදුලි ත්‍රීරෝද රථය සඳහා ලියාපදිංචි අංකය පිරිනමයි.

පවතින ඉන්ධන අර්බුදය සහ මූල්‍ය ගැටළුවලට විසඳුමක්‌ ලෙස විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී රථවාහන මෙරට ධාවනයට එක් කිරීම ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙරට බහුතර පිරිසක් භාවිතා කරන ත්‍රීරෝද රථ විදුලියෙන් ධාවනය කිරීම සඳහා පරිවර්තනය කිරීම සහ විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ නිෂ්පාදනය දිරි ගන්වමින් වේගා ඉනෝවේෂන් සමාගම මඟින් සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කරන ලද විදුලි ත්‍රීරෝද රථයට සහ අධි තාක්ෂණික මෝටර් රථය මෙරට ධාවනය කිරීමේ ලියාපදිංචි අංකය නිල වශයෙන් නිකුත් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ආරෝපණය කර ධාවනය කෙරෙන මෙම ත්‍රිරෝද රථය වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඉදිරියේදී ඕනෑම නිෂ්පාදකයෙකුට විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ මෙරට නිෂ්පාදනය කර ලියාපදිංචි කිරීමේ හැකියාව මේ සමඟ හිමිවනු ඇත.

විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමට අමතරව දැනට ඉන්ධන භාවිතයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ ද විදුලියෙන් ධාවනය කළ හැකි පරිදි පරිවර්තනය කිරීම ද වේගා ඉනොවේෂන් සමාගම මගින් සිදු කරයි.
ත්‍රිරෝද රථ වලට අමතරව විදුලියෙන් ධාවනය වන අධි තාක්ෂණික මෝටර් රථ, යතුරු පැදි ඇතුළු තවත් වාහන මාදිලි රැසක් දැනටමත් වේගා ආයතනය මගින් නිෂ්පාදනය කොට ඇත.
මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනොවේෂන් සමාගම ඇතුළු නව නිපැයුම් හඳුන්වාදීමේ නිරත ආයතන කිහිපයක්‌ නිරීක්ෂණයට ද අමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් එක් විය.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන්, වේගා ඉනොවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචර්ය හර්ෂ සුබසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.