Saturday, 27 April 2024

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- නාමයෝජනා භාරගැනීම අද සිට ඇරඹේ

Posted On Wednesday, 18 January 2023 16:10

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම- නාමයෝජනා භාරගැනීම අද සිට ඇරඹේ

 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් (18) ආරම්භ වන බවත් එය ජනවාරි 21 වනදා දහවල් 12.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ සම්බන්ධයෙන් පැවසීය.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ගත වූ දිනය තුළ දේශපාලන පක්ෂ 29ක් සහ ස්වාධීන කණ්ඩායම් 52ක් ඇප මුදල් තැන්පත් කර ඇත.

අදාළ කාලය තුළ නව ලංකා නිදහස් පක්ෂය, කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

එමෙන්ම සමගි ජන බලවේගය ද කොළඹ, ගම්පහ, කළුතර , මාතලේ, ගාල්ල, යාපනය, මඩකලපුව, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහාත්, සමාජවාදී ජනතා සංසදය, කොළඹ දිස්ත්‍රික්කය සඳහාත් ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොළඹ, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අතර එක්සත් සාම සන්ධානය, කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් ස‍භාව සඳහන් කර ඇත.