Thursday, 28 March 2024

ඉදිරි යල කන්නයේ දී මී උණ සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න - ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරී දබරේරා

Posted On Monday, 09 January 2023 08:08

ඉදිරි යල කන්නයේ දී මී උණ සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න - ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරී දබරේරා

 

යල සහ මහ කන්න වලදී මී උණ රෝගය මෙරට හිස ඔසවන බැවින් එළඹෙන යළ කන්නයේදී මී උණ සම්බන්ධයෙන් කල්පනාකාරී වන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරී දබරේරා මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ, අද (09) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් “Leptospirosis” රෝගය ශ්‍රී ලංකාවේ වසර පුරාම දක්නට ලැබෙන බෝවන රෝගයක් බවද සාමාන්‍යයෙන් මී උණ රෝගීන් වසරකට 6000 – 8000 ක් පමණ වාර්තා වන බවද වාර්ෂිකව මරණ 100ක් පමණ සිදුවන බවද කියා සිටියාය.

මී උණ රෝගීන් මාර්තු සිට මැයි දක්වාද ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාද වැඩි වීමක් පෙන්නුම් කරන බවද මෝසම් වැසි කාලය මෙන්ම යල මහ කන්න වල ගොයම් වැඩ කටයුතු වල නිරත වීම මෙම රෝගය වැඩිවීමට හේතුව බවද ඇය අවධාරණය කළාය.

ගංවතුර තත්ත්ව වලින් පසුවත් මී උණ රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කරන බවද 222 වසරේ රෝගීන් 2900ක් පමණ වාර්තා වී ඇතැයිද වෛද්‍යවරිය පැවසුවාය.

මී උණ සම්බන්ධයෙන් වෛද්‍ය තුෂාරි මහත්මිය මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වූවාය.

මී උණ රෝගයට හේතු කාරකය බැක්ටීරියාවක්. එම බැක්ටීරියාව මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගේ මුත්‍රා පද්ධතියේ ජීවත් වන අතර ඔවුන්ගේ මුත්‍ර ජලයට එකතු වීමෙන් කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කානු, පතල් වල ජලයට කොහිල හෝ කීර කොටු වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි. ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ඇස්වල, නාසයේ හෝ මුඛයේ ශරීර පටල හරහා මිනිසාගේ සිරුරට ඇතුළු වෙයි. මී උණ රෝගයේ ලක්ෂණ වශයෙන් තද උණ, හිසරදය, මස්පිඩු වල වේදනාව, ඇස් රතු වීම, මුත්‍ර තද කහ පැහැ වීම, මුත්‍ර යාම අඩු වීම දැක්විය හැකියි. නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදුවිය හැකියි. මී උණ රෝගය වැළදුණු පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝ වීමක් සිදුවන්නේ නැහැ. කුඹුරු වල වැඩ කිරීමේදී අපවිත්‍ර ජලයෙන් මුහුණ සේදීම හෝ ජලය බීමට ගැනීම සිදු නොකළ යුතුයි.

මී උණ රෝගය ගැන දැනුම්වත් වී නිසි කලට ප්‍රතිකාර ලබාගැනීමට උනන්දු වන ලෙසද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරී දබරේරා මහත්මිය ඉල්ලා සිටීමට අමතක නොකළාය.