Tuesday, 23 April 2024

ප්‍රාථමික හෝ වර්ධක මාත්‍රා සඳහා සයිනොෆාම් එන්නත් ලබාගන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Tuesday, 03 January 2023 17:12

ප්‍රාථමික හෝ වර්ධක මාත්‍රා සඳහා සයිනොෆාම් එන්නත් ලබාගන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

මෙරට ජනතාව සිය ප්‍රතිශක්තීකරණය තහවුරු කරගැනීම සඳහා ප්‍රාථමික හෝ වර්ධක එන්නත් මාත්‍රා ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සයිනොෆාම් එන්නත් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද (03) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව මේ වන විට සයිනොෆාම් නාමයෙන් යුතු එන්නත් තොගයක් පමණක් ඉතිරිවී ඇතැයිද එම එන්නත් අවශ්‍ය කෙනෙකුට සිය ප්‍රතිශක්තිය වර්ධනය සඳහා යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අවස්ථාව සලසා දී ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

ඒ අනූව අවුරුදු 18ට වැඩි සහ අවුරුදු 20ට වැඩි ඕනෑම කෙනෙකු තම පළමු හෝ දෙවන එන්නත්කරණය සම්පූර්ණ කරගෙන නොමැති නම් ළඟම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා දිනයක් වේලාවක් වෙන්කර ගෙන සයිනොෆාම් එන්නත් ලබාගන්නා ලෙසද සඳහන් කළේය.

 දෙවන වර්ධක මාත්‍රාව එනම් හතර වන එන්නත ලබානොගත් අයටද ඒ සඳහා සයිනොෆාම් එන්නත ලබාගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.

මේ වන විට ලොව රටවල් ගණනාවක කොවිඩ් රෝගය හිස ඔසවා ඇතත් ලංකාවේ එවැනි තත්ත්වයක් තවම දක්නට නැතැයිද නමුත් ඕනෑම මොහොතක එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කල් ඇතිව සූදානම් වීම වැදගත් බවද ඒ සඳහා මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටියේය.