Friday, 26 April 2024

දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ජනවාරි 05 දා සිට අනුරාධපුර - වවුනියාව දක්වා දුම්රිය මාර්ගය වසා තැබේ - ප්‍රවාහන අමාත්‍ය

Posted On Wednesday, 28 December 2022 09:50

දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ජනවාරි 05 දා සිට අනුරාධපුර - වවුනියාව දක්වා දුම්රිය මාර්ගය වසා තැබේ - ප්‍රවාහන අමාත්‍ය

 

කොළඹ සිට යාපනේ, කන්කසන්තුරේ දක්වා ධාවනය වන උතුරු දුම්රිය මාර්ගයේ ඉතා දැවැන්ත දෙවන හැරවුමක් බවට පත්කරමින් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංවිධානය වන දැවැන්ත ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කට ජනවාරි 05 දා සිට වසා තැබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ඒ අනුව, පොදුජනතාවට වඩා කාර්යක්ෂම දුම්රිය සේවයක් සැපයීම සඳහා ලබන වසරේ දී නියමිත වෙලාවට දුම්රිය ධාවනය කිරීමට හැකි වන ආකාරයට, දුම්රිය ප්‍රවාහන පද්ධතිය, දුම්රිය සංඥා පද්ධතිය දියුණු කිරීමටත්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටත්, දුම්රිය සඳහා අලුත් තාක්‍ෂණය යොදාගැනීමටත් ඒ තුළින් පිරිවැය අඩු කර අදායම වැඩි කර ගැනීමට වන වැඩපිළිවෙලකට ගමන් කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කළ ඒ මහතා ජනවාරි පස්වන දා ආරම්භ වන අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක් පමණ වැය වෙන අතිදැවැන්ත ව්‍යාපෘතියක් වන බවත් සඳහන් කළේය.

30 අවුරුදු යුද්ධය පැවති යුගයේ දී උතුරු දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම විනාශ වීම නිසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හා තාක්ෂණික උපකාර යටතේ මහව සිට කන්කසන්තුරේ දක්වා වන දුම්රිය මාර්ගය නවීකරණය කොට පසුගිය රජය සමයේ විවෘත කරන ලදී.

එහි දී පැ.කි.මී.100 ක වේගයෙන් ඉතාම පහසුව ධාවනය කිරීමට හැකි මාර්ගයක් තනා දීමට හැකි වීම පිළිබඳව තමන් ඉන්දියානු රජයටත්, ඒ සඳහා දායකත්වය සැපයු ඉර්කොන් සමාගම ඇතුළු මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් ඇතුළු තාක්ෂණික නිළධාරීන් සියලු දෙනාටත් තම ස්තුතිය පුදකරන ලද බව ද හෙතෙම පැවසීය.

ගෙවුණු 2022 වසර රටට අමාරු වසරක් වූ අතර ඉන්ධන මිල වැඩිවීම්, ප්‍රවාහන ගාස්තු වැඩිවීම්, ආදිය කරණ කොට ගෙන පොදු ප්‍රවාහනය ලෙස සැලකෙන දුම්රිය සේවය හා බස්රථ සේවයත්, වෘත්තීය සමිති සමඟ එක්ව විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද විශාල මෙහෙවරක් ඉටු කරන ලදී.

වසර 100 ක කාලයක් තිස්සේ නවීන ප්‍රතිසංස්කරණයක් සිදු නොවුණු මෙම දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වව්නියාව දක්වා මාර්ගය ජනවාරි මස 05 දා සිට මාස 05ක කාලයක් යනතෙක් දුම්රිය ධාවනය නැවත්වෙන අතර මඟීන්ට පැන නඟින අපහසුතා මඟ හැරවීම සඳහා එම දුර ප්‍රමාණය සළකා බලා දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙන සියලු මඟීන්ව ලංගම හා පුද්ගලික බස්රථ සමඟ එක්ව අනුරාධපුරයේ සිට යාපනයට අඛණ්ඩව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ආණ්ඩුකාරවරුන් මෙන්ම මධ්‍යම ගමනාගමන මණ්ඩලය එකතුව සකස්ව තිබෙන බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්.ජී.එස්. ගුණසේකර, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනවිරත්න, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත), එච්.එම්.කේ.ඩබ්.බණ්ඩාර, මහව ඕමන්තෙයි දුම්රිය මාර්ග ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අශෝක මුණසිංහ, ඉර්කොන් සමාගමේ සාමාන්‍යධිකාරී ගුරු බච්චන්, එම සංගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සී.කේ. පාන්ඩේ යන මහත්වරු මෙම මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.