Friday, 19 April 2024

ගත වූ පැය 24 ඇතුළත වාරි කලාප ආශ්‍රිතව ලබෙන වර්ෂාපතනයේ අඩුවීමක්-වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Posted On Tuesday, 27 December 2022 16:42

ගත වූ පැය 24 ඇතුළත වාරි කලාප ආශ්‍රිතව ලබෙන වර්ෂාපතනයේ අඩුවීමක්-වාරිමාර්ග දෙපාර්තමේන්තුව

 

අද (27) උදෑසන 8.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ බොහෝ වාරි කලාප ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙමින් තිබූ වර්ෂාපතනය සැළකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ ) ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා පවසයි.

පැවති අඩු පීඩන තත්වය පහව යාමත් සමග ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාපතනය අඩු වී ඇති බවත් පෙරදිනවල පැවති වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ජලාශවල ඉහළ ජල ධාරා ප්‍රදේශවලින් තවදුරටත් ජල ගලනයන් සිදු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ඊයේ (26) විවෘත කරන ලද ජලාශ 15කින් ජලාශ 8ක වාන් දොරටු කිසියම් ප්‍රමාණයකින් අඩු කරමින් තවදුරටත් විවෘතව තැබෙන බවත් හෙතෙම කියා සිටී.

විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය සහ කිඹුල්වානාව ජලාශයවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතී.එසේම අම්පාර දිස්ත්‍රික්කයේ කලුගල් ඔය ජලාශය සහ රඹකැන් ඔය ජලාශය , අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාන් ඔය ජලාශය , මඩකලපුව දිස්ත්‍රික්කයේ ඌරුගම් ජලාශය සහ මහනුවර දිස්ත්‍රික්කයේ වැව්මැඩිල්ල ජලාශයවල වාන්දොරටු කිසියම් ප්‍රමාණයකින් විවෘතව පවතී.

දැදුරු ඔය ජලාශය සහ රාජාංගණය ජලාශය ඉදිරි පැය 24 සඳහා ගේට්ටු 4 බැගින් තවදුරටත් විවෘතව තැබීමට සිදුවන බවත් සෙසු ජලාශවල අද සවස් කාලයෙන් පසුව ගේට්ටු වසා තැබීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

පසුගිය දිනවල ලැබූ වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 88 සමස්ත ධාරිතාවය සියයට 62 දක්වා ඉහළ ගොස් ඇති බව අබේසිරිවර්ධන මහතා කියා සිටී.