Wednesday, 24 April 2024

මාධ්‍ය මගින් මත්ද්‍රව්‍යවල නම් භාවිතා කිරීම නිසා ඒ සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දෙනවා - ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ

Posted On Monday, 26 December 2022 15:12

මාධ්‍ය මගින් මත්ද්‍රව්‍යවල නම් භාවිතා කිරීම නිසා ඒ සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දෙනවා - ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ

 

මාධ්‍ය මගින් මත්ද්‍රව්‍ය වල නම් භාවිතා කිරීම නිසා ඒ සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඉදිරි පරපුර නැඹුරුවීම වළක්වා ගැනීමේ අරමුණින්, මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්

විශේෂයෙන්ම කාලයෙන් කාලයට මත්ද්‍රව්‍ය සඳහා භාවිතා වෙන විවිධ නම් හරහා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරණයක් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව මාධ්‍ය මගින් පෙන්වන රූප රාමු ආදිය නිසා දරුවන්ට යම් කිසි කුතුහලයක් ඇති නොවන පරිදි මාධ්‍ය කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

මේවා ප්‍රචාරණය වීම නිසා තමයි කුතුහලය ඇති වෙන්නේ. එම කුතුහලය වැඩි දියුණු වෙලා අත්හදා බැලීම් වලට පෙළඹෙනවා. අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දීම තුළින් දරුවෝ මෙය අත්හදා බැලීමට පෙළඹෙනවා. මාධ්‍යට විශාල වගකීමක් තිබෙනවා. නිවැරදි දෙය හරියාකාරව ප්‍රචාරණය කිරීම සහ පෙන්වීම වැදගත්. විශේෂයෙන් දරුවන්ගේ හැසිරීම් සහ ඇසුරු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දෙමව්පියන් ඉතා ඔිනෑ කමින් අවධානය යොමු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. පාසල් මට්ටමින් සෑම දරුවෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කරමින් ගුරුවරු කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ළමයින් කුතුහලය නිසා අත්හදා බැලීම් වලට යොමු වෙනවා. කුතුහලය ඇවිස්සෙන ආකාරයට ක්‍රියා කළහොත් එම කුතුහලය පස්සේ හඹා යන පිරිසක් බවට දරුවන් පත් වෙනවා. ළමයා කියන පුද්ගලයාට කුතුහලය දැනවිය යුත්තේ හරි මාර්ගයේ යාමටයි. මත්ද්‍රව්‍ය මගින් මනසේ පමණක් නොව ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. හෘද වස්තු , වකුගඩු වලත් ක්‍රියාකාරිත්වයට හානි කරනවා කාලයක් යද්දි.මානසික ආබාධයන්ට ලක් වීමට හේතු වෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය හරියට සිදු වන්නේ නැහැ. සමාජයෙන් කොන් වෙනවා . පාසල තුළ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. බහුතර සමාජයේ හැම වැඩිහිටියෙක් ම මේ පිළිබඳව අවධානයෙන් යොමු විය යුතුයි. දරුවන්ට මෙහි ආදීනව කියා දිය යුතුයි. ගෙදර පරිසරය හොඳින් තිබිය යුතුයි.ගෙදර පරිසරයේ ඇති යම් කිසි වැරැද්දක් හේතුවෙන් මොවුන් මේ සඳහා පෙළඹවීමට ඉඩ තියෙනවා.
බලධාරින්ගේ යම් යම් අඩු පාඩු නිසා මෙවැනි දෑ හඳුනාගත්තද ඒ සම්බන්ධයෙන් නිසියාකාර ව ක්‍රියාමාර්ග නොගන්නා තත්වයට පත් වී තිබෙනවා. සමාජීය වශයෙන් ඔවුන්ට දැනුම ලබා දෙන්න කටයුතු කළ යුතුයි.