Saturday, 20 April 2024

ජාවාරම් කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

Posted On Sunday, 27 November 2022 15:53

ජාවාරම් කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

 

ජාවාරම් කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

මුදල් අමාත්‍යංශය විසින් (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා දැක්වූ අදහස සම්බන්ධයෙන් තහවුරු කර ඇත.

ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බවත් රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පවසා ඇති බව එම නිවේදනය තවදුරටත් පෙන්වා දෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බවයි.

ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝ 50කට අධික ප්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී තිබෙන බවත්, ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව අසන්න රටවල් වෙත ගුවන් මගින් ගමන් කරමින් කැරට් 24 රන් පළඳනා ලෙස සකස් කරගෙන මෙරටට පැමිණෙන බව ද වාර්තා වී තිබෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

එමගින් මාසයකට රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ වන බව ගණන් බලා ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.