Thursday, 28 March 2024

මාලදිවයිනේ මාලේ හි පිහිටි රිය අලුත්වැඩියා පොළක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මුදාගැනේ

Posted On Sunday, 13 November 2022 16:21

මාලදිවයිනේ මාලේ හි පිහිටි රිය අලුත්වැඩියා පොළක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මුදාගැනේ

 

2022 නොවැම්බර් 10 වැනි දින, මාලේ හි රිය අලුත්වැඩියා පොළක හටගත් ගින්නකට මැදි වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු, මුදාගැනීමේ කණ්ඩායම විසින් මුදාගෙන එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූ බව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කර ඇත.

මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා මාලේ හි පිහිටි ASM ගරාජ් ඉස්කන්ධර් මාගු නමැති රිය අලුත්වැඩියා පොළේ සේවය කර ඇති අතර, එම රිය අලුත්වැඩියා පොළේ ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි කාමරයක ඔවුහු නවාතැන් ගෙන ඇත. 2022 නොවැම්බර් 10 වැනි දින අලුයම කාලයේ දී මෙම ගින්න හටගත් විට, කිසිදු හානියක් තොරව ඉන් ගැළවීමට ඔවුන්ට හැකි විය.

මෙලෙස මුදාගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ ආරක්ෂාව සැලසීම සඳහා ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමේ අරමුණින්, මාලේ හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු 2022 නොවැම්බර් 11 වැනි දින එම ශ්‍රී ලාංකිකයන් පිරිස හමු වූහ. මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ට අවැසි ආහාර සහ අනෙකුත් සියලුම පහසුකම් ඔවුන්ගේ සේවායෝජකයා ඔවුන්ට සලසා ඇති බවත් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ