Friday, 26 April 2024

වඳුරු උණ කොරෝනා වගේ පහසුවෙන් පැතිරෙන්නේ නැහැ- අනිසි බියක් එපා - ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරෝරා

Posted On Wednesday, 09 November 2022 16:54

වඳුරු උණ කොරෝනා වගේ පහසුවෙන් පැතිරෙන්නේ නැහැ- අනිසි බියක් එපා - ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරේරා

 

බෝ වන රෝගයක් වන වඳුරු උණ නොහොත් Monkey Fox රෝගය කොරෝනා රෝගය මෙන් ඉතාම පහසුවෙන් පැතිරෙන රෝගයක් නොවන බවද, එමනිසා අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැති බවද මෙය විශේෂයෙන්ම පැතිරෙන්නේ ස්පර්ශය මගින් බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරෝරා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ, අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම රෝගය ප්‍රථමයෙන්ම මිනිසුන් අතර වාර්තා වූයේ 1970 වසරේ කොංගෝ රාජ්‍යයේ බවද, ඉන්පසු මෙම රෝගය දකුණු අප්‍රිකානු රටවල වරින් වර පැතිර ගිය බවද මධ්‍යම අප්‍රිකානු සහ දකුණු අප්‍රිකානු රටවල මෙය Endemic එකක් එනම් නිතර පවතින රෝගයක් වශයෙන් සඳහන් වන බවද වැඩි දුරටත් කියා සිටියේය.

උණ, සමෙහි බිබිළි මතුවීම, වසා ගැටිති ඉදිමීම, හිසරදය සහ තෙහෙට්ටු ගතිය මෙම රෝගයෙහි ලක්ෂණ වන අතරම මෙම විෂබීජය ශරීරගතවී දින 06ත් 13ක් යනතෙක් බීජෞෂණ සමය හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්විය හැකි බවද මෙම බීජෞෂණ සමය දින 21ක් දක්වා දික්විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති දත්ත අනූව මෙම රෝගය සමට සම ස්පර්ශයෙන් බෝ වන බවද එනම් රෝගියෙකුගේ ශරීරයේ සමෙහි මතුවන බිබිළි වලින් පිටතට පැමිණෙන දියරය සමත් සමග ගැටීම මගින් මෙම රෝගය සෑදිය හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරෝරා මහතා අවධාරණය කළේය.

ඉතාම කිට්ටු සම්බන්ධතාවයකින් සමට සම ගැටීමෙන් මෙම රෝගය පැතිරෙන අතරම ශ්වසන මාර්ගයෙන් පිටවන බිඳිති මගින්ද මෙය පැතිරිය හැකි බව පැවසුවේය. සමට සම ස්පර්ශයෙන් මෙන්ම දීර්ඝ කාලයක් තුළ මුහුණට මුහුණලා ගැටීම මගින් කෙළ බිඳිති මගින් මෙය පැතිරිය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම රෝගය ලොව තුළ ව්‍යාප්තිය සැලකීමේදී 2022 වසරේ ලොව පුරා රෝගීන් 78,600ක් වාර්තාවී ඇතැයිද ඉන් 41 දෙනෙකු මියගොස් ඇතැයිද සදහන් කළේය. උතුරු සහ දකුණු ඇමරිකානු කලාපයේ රෝගීන් 52,000ක් වාර්තාවී ඇතැයිද, යුරෝපයේ රෝගීන් 25,000ක් වාර්තා වී ඇතැයිද කියා සිටියේය.

ස්පාඥ්ඥය, එක්සත් ජනපදය, ප්‍රංශය වැනි රටවල මෙම රෝගය පැතිරී ඇතැයිද, දකුණු ආසියාතික රටවල මේ වන තෙක් රෝගීන් 31ක් පමණ වාර්තා වී ඇතැයිද ඉන්දියාවේ රෝගීන් 17ක්, තායිලන්තයේ 12ක්, ඉන්දුනීසියාවේ එක් රෝගියෙකු සහ මෙරට එක් රෝගියෙකු වශයෙන් සදහන් වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති දත්ත අනූව රෝගීන් 78,600න් රෝගීන් 45,000කගේ පමණ වයස් සීමාවන් නීර්ණය කර ඇතැයිද, රෝගීන් 45,000කින් ආසන්න වශයෙන් 97%ක්ම පිරිමි පුද්ගලයන් බවද, එම පිරිමින්ගෙන් 80%ක්ම 18 – 44 වයස් සීමාවේ පසුවන්නන් බවද කාන්තාවන් සිටින්නේ 3%ක් පමණ බවද කියා සිටියේය.

ශරීර ස්පර්ශය දිගු කාලයක් එක දිගට සිදුවීමෙන් මෙය ව්‍යාප්ත වුවද, අපගේ යහපැවැත්ම මගින් මෙම වඳුරු උණ රෝගය පැතිරීම වළක්වාගත හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළේය.