Wednesday, 24 April 2024

ඇමරිකානු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට මුහුදු ආවේක්ෂණ නෞකාවක්

Posted On Wednesday, 02 November 2022 17:52

ඇමරිකානු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට මුහුදු ආවේක්ෂණ නෞකාවක්

 

ඇමරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් පී -627 ( ඩග්ලස් මුන්රෝ ) මුහුදු ආවේක්ෂණ නෞකාව මාස දෙකක මුහුදු ගමනකින් පසු අද (02) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

නාවික හමුදා ඉතිහාසයේ නාවික හමුදා නෞකාවක් යාත්‍රා කල දීර්ඝතම ගමන මෙම පී- 627 මුහුදු ආවේක්ෂණ නෞකාවයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා විසින් මෙම නෞකාව නිල වශයෙන් භාර ගන්නා ලදී. නෞකාව නිල වශයෙන් භාර ගැනීමේ උත්සවය අද උදෑසන කොළඹ වරාය පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුනේගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලංකා දිසානායක මහතා පැවසුවේ මෙරට සාගර කළාපය ආරක්ෂා කිරීම, මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම , නාවික සහ ධීවර ප්‍රජාවට සහන සැළසීම ඇතුළු මෙරට සාගර කළාපයේ සිදු වන ආර්ථික කටයුතු සඳහා ආරක්ෂාව සැපයීමට මෙම නෞකාව යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙම නෞකාව ඇමරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2021 ඔක්තොම්බර් 26 දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දී තිබේ. මාස 10ක කාලයක් පුරා නෞකාවේ නවීකරණ කටයුතු සහ අවශ්‍ය පුහුණුවීම් ලබා දීම සිදු කර තිබේ. නෞකාව පසුගිය සැප්තැම්බර් 03 දින ඇමරිකානු සියැටල් වරායෙන් ගමන් ආරම්භ වී තිබේ. මාස දෙකක දීර්ග මුහුදු ගමනකින් අනතුරුව නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු, නාවික හමුදා නිලධාරින් එක්ව සිටියහ. නෞකාවේ ගමන්ගත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 130 දෙනාගේ පවුල් වල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.