Friday, 26 April 2024

රත්මලාන මහා දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසේ

Posted On Sunday, 28 August 2022 16:56

රත්මලාන මහා දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසේ

 

රත්මලාන මහා දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසේ

අක්කර 34ක භූමි භාගයක් තුල බ්‍රිතාන්‍ය යුගයේ පටන් සදා නිමකොට පවත්වාගෙන යන දැවැන්ත කර්මාන්ත ශාලා 34කින් සමන්විත, ආසියාවේ විශාලතම සම්පතක්‌ ලෙස සැලකෙන ලංකාණ්ඩුවේ රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළ වලට සොරුන්ගෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ට පවා තර්ජන ගර්ජන සහ බිය වැද්දීම් සිදු කර රජය සතු දේපොළ සොරා ගැනීමට සංවිධානාත්මක පිරිසක් ක්‍රියා කරන බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත. ගල්කිස්ස දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම වැඩපොළ තුල සිදුවන මහා පරිමාණ සොරකම්, වංචා, දුෂණ පිලිබඳ විමර්ශනයක් පවත්වා ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු වෙනත් අංශ වලින්ද විමර්ශන සඳහා සහයෝගය ලබාගෙන ඇත.ඉකුත් දා මෙම වැඩපොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාට, ආයතනයේ පාලනාධිකාරිය සහ කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ගේ නිවාස වලට පවා සොරුන්ගෙන් හිරිහැර තර්ජන සිදුවන බවට කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව අමාත්‍යවරයා අද දින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සමඟ රත්මලාන දුම්රිය වැඩපොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.ඒ අනුව කඩිනමින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර දුම්රිය සේවකයන්ගේ සහ වැඩපොලේ ආරක්ෂාව දැඩිව තර කිරීමටත් සොරකම් වංචා දූෂණ සහ තර්ජනය කිරීම් වලින් පොදු දේපල ආරක්ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදි.

ඒ සමඟම පොලීසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව නව ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගල්කිස්ස දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරිවරුන්,ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා,රත්මලාන යාන්ත්‍රික දුම්රිය වැඩපොලේ පාලනාධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

 

මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය