පසුගිය දින 10ක කාලසීමාව තුළ දෛනික කොවිඩ් රොගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයිද, ඊට සාපේක්ෂව කොවිඩ් මරණ වල යම් වැඩිවීමක් දක්නට ඇතැයිද අවධාරණය කළ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, වයස අවුරුදු 20ට වැඩි පළමු වර්ධක මාත්‍රාව (තෙවන මාත්‍රාව) ලබාගත් අය දෙවන වර්ධක මාත්‍රාව (04 වන මාත්‍රාව) ලබාගන්නා ලෙසද වැඩිදුරටත් සඳහන් කළේය.
වෛද්‍යවරයා මේ බව සදහන් කළේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී “කොවිඩ් උවදුර ඉවර නෑ.. තවදුරටත් දැනුවත්වෙමු ”යම මැයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.
මෙම දින වල මෙරට කොවිඩ් රෝගයේ පැහැදිලි වැඩිවීමක් පවතින බැවින් පොදු ස්ථාන වලදී නිසි ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ නිවැරදිව පළදින ලෙස පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ නිකුත් කළ බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, ජනතාව ගැවසෙන ස්ථාන, පොදු ප්‍රවාහන ආදියේදී මුඛ ආවරණ පැළදීමේ වැදගත්කමද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ එනම් දෑත් සබන් ගා සේදීම, දුරස්ථභාවය පවත්වාගැනීම සහ අනවශ්‍ය පරිදි ජනතාව ගැවසෙන ස්ථාන වලට නොයෑම ආදියෙහි කාලීන අවශ්‍යතාවය අවධාරණය කළේය.
එන්නත්කරණය පරිපූර්ණ කරගැනීම වැදගත් බව කියා සිටි වෛද්‍ය සමිත ගිණිගේ මහතා අවුරුදු 12ත් 19ත් අතර පාසල් යන දරුවන් සදහා එන්නත් මාත්‍රා 02ක් නිර්දේශ කර ඇතැයිද පළමු සහ දෙවන මාත්‍රා ලබා නොගත් දරුවන් හැකි ඉක්මණින් එම මාත්‍රා ලබාගන්නා ලෙසද ඉල්ලා සිටියේය.
දෙවන වර්ධක මාත්‍රාව නොහොත් 04 වෙනි මාත්‍රාව ජනතාවට ලබාදීම පසුගිය කාලයේ සිට සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල මෙන්ම සෑම රෝහලකම ක්‍රියාත්මක වුණු බවද ඒ සදහා ජනතාවගේ පැමිණීමේ අඩුවක් පැවති බවද අවශ්‍යතාවය වැඩි වුවහොත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සදහා වැඩපිළිවෙලක් සකසන බවද සදහන් කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා සහභාගී වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ මෙම එන්නත් සදහා කල් ඉකුත් වන දිනයක් මුලදී ලබා දී තිබුණු බවද, මේවායෙහි ප්‍රභලත්වය කතරම් කාලයක් පවත්වාගෙන යා හැකිද යන වග දත්ත එකතු වන ආකාරය අනූව නැවත නැවත තීරණය කළ හැකි බැවින් මෙම එන්නත් තවදුරටත් භාවිතා කළ හැකි බවට අදාල නිෂ්පාදිත සමාගම ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අදාල අංශ වලට දන්වා ඇති බවයි. අදාල නිර්දේශය පදනම් කරගන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් තවත් මාස 03කට මෙම එන්නත භාවිතා කිරීමට හැකියාව ඇති බවට චක්‍රලේඛ නිකුත් කර ඇතැයිද සදහන් කළේය.
මේ දින වල දැඩි කතාබහට ලක්වන මංකි ෆොක්ස් රෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන වසංගත රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කියා සිටියේ මෙය අලුත් රෝගයක් නොවන බවත්, වර්ෂ 1970දී මෙය ප්‍රථම වරට බටහිර අප්‍රිකානු රට වලින් වාර්තා වුණු බවයි. නමුත් මෙය අධි වසංගත තත්ත්වයක් ලෙස වාර්තා නොවුණු අතර පැහැදිලිව පසුගිය මාස කිහිපය තුළ එකවර යුරෝපාකරයේ රටවල් වලින් රෝගීන් වාර්තා වුණු බවද කියා සිටියේය.
සාමාන්‍යයෙන් මෙහි රෝග ලක්ෂණ වශයෙන් හමේ (මුහුණ, අත්පා, මුඛය තුළ) බිබිළි ඇතිවීම, උණ, වසා ගැටිති ඉදිමීම සහ ශරීරයේ අප්‍රාණික තත්ත්වය ආදිය පවතින අතර මේ සදහා අනියත බියක් ඇතිකර නොගත යුතුබවද, සාපේක්ෂ වශයෙන් මෙය මහා පරිමාණයෙන් කොවිඩ් මෙන් පැතිරෙන්නේ නැති බවද ඔහු සදහන් කළේය.
එක් ආසාදිතයෙක් දළ වශයෙන් මෙය බෝ කරන්නේ එක් අයෙකුට පමණක් බවද, දැනට පවතින සාක්ෂි අනූව මෙය සීඝ්‍රයෙන් ප්‍රජාව අතර ව්‍යාප්ත නොවන බවද, මාරාන්තික තත්ත්වයකට යාමක් සිදු නොවන බවද බෝ වීම වාර්තා වන්නේ සමීපව ඇසුරු කරන්නන් අතර පමණක් බවද අවධාරණය කළේය.
දකුණු ආසියානු මහද්වීපයෙන් තවමත් රෝගීන් තුන්දෙනෙකු පමණක් වාර්තා වී ඇතැයිද මේ සදහා සෞඛ්‍ය පද්ධතියේ සූදානමක් පවතින අතර ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයිද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කියා සිටියේය.