Friday, 03 May 2024

ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

Posted On Friday, 08 July 2022 16:26

ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

 

රාජ්‍ය නිලධාරින් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේදී ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

වර්තමානයේ රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසත්, එසේ අනුයුක්ත කිරීම අපහසු ගර්භණී නිලධාරිනියන් සඳහා රාජකාරි කටයුතු වලට බාධාවක් නොවන අයුරින් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට සිය රාජකාරි ඉටු කිරීමට අවස්ථාව සලසන ලෙසත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම සිදුකොට තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

 

රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම මැයෙන් 2022.06.17 දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අංක 16/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කොට තිබේ.

ඒ අනුව, එම චක්‍රලේඛයේ 02 වැනි වගන්තියෙහි සඳහන් වන රාජ්‍ය නිලධරයන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීම යන්න ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය සිය ලිපිය මගින් ඉල්ලා තිබේ.

තවද, පෞද්ගලික අංශය සඳහා මෙය අදාළ කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් යොමු කරන ලද ලිපයේ සඳහන් වේ.