Saturday, 20 April 2024

අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් -විභාග කොමසාරිස් ජනරාල්

Posted On Thursday, 19 May 2022 06:10

අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් -විභාග කොමසාරිස් ජනරාල්

 

පසුගිය වසරේ පැවැත්වීමට තිබූ 2021- අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය, මැයි 23 දින සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

මාස 05ක් ප්‍රමාද වූ , මෙම විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා සියළු දෙනාගේම සහාය ලබා දෙන්නැයි ද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය. එළඹෙන සතියේ ආරම්භ වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

මෙවර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 517, 496 පෙනී සිටියි.පාසල් අයදුම්කරුවන් සඳහා මේ වන විටත් ප්‍රවේශපත්‍ර සියල්ල යොමු කර අවසන් බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. ඒහෙත් ඇතැම් පෞද්ගලික අයදුම් කරුවන්ගේ අයදුම් පත් ප්‍රමාද විය හැකි බවත් , ඒවැනි අයදුම්කරුවන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත භාගත කර ගත හැකි බවද කීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 2784208 හෝ 2784537 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.

විභාගය සඳහා උපකාරක පංති සහ දේශණ පැවැත්වීම , දින 05කට පෙර නැවැත්වීම සාමාන්‍ය තත්වය වුවද රටේ ඇති වූ ගැටළු සහ විදුලි බලය ඇණහීම් හේතුවෙන් දරුවන්, දෙමව්පියන් ඇතුළු අනෙකුත් පාර්ශවයන්ගේන් සිදු කළ ඉල්ලීමට අනුව මෙවර විභාගයේදී ඒළඹෙන සිකුරාදා(20) රාත්‍රිය තෙක් ඒ සඳහා අවසර ලබා දී තිබේ. ඒ අනුව ඒළඹෙන සිකුරාදා (20) මාධ්‍යම රාත්‍රියේ සිට සියළුම උපකාරක පංති සහ දේශණ පැවැත්වීම තහනම් වේ.

විභාග කාර්ය මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සළකා කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගෙන් තමා ඉල්ලීමක් කළ බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. විභාග ශාලාධිපති හැඳුනුම් පත සහිත පුද්ගලයන්ට සහ අනෙකුත් ඒ අනුව සමස්ත නිලධාරි සහ විභාග කාර්ය මණ්ඩලයට ඉන්ධන හල්වලදී ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන ලෙසද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ විභාග කොමසාරිස්වරය පැවසුවේ , මෙම විභාගය නියමිත දිනයන්හිදී පැවැත්වීම සම්බන්ධයෙන් දරුවන් , දෙමව්පියන් ඇතුළු අධ්‍යාපනික බලධාරින්ගෙන් විශාල වශයෙන් ඉල්ලීම් ඉල්ලීම් ලැබුණු බවයි. අද පවතින වර්තමාන තත්වය හමුවේ සියළුම පුරවැසියන් විභාගයට පෙනී සිටින මෙම දරුවන් ට ඒ සඳහා සහාය දෙමින් දරුවන්ගේ ඉදිරිගමනට අවශ්‍ය ශක්‍යතාව ලබා දෙන ලෙසද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය. තවද විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමව්පියන් සඳහාද ඒම දරුවන්ට යහපත් මානසිකත්වයෙන් යුතුව විභාගයට පෙනී සිටීම සඳහා සහාය වන්නැයි ඉල්ලා සිටියේය. මෙම කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමව්පියන්ට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සහ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඉල්ලීමක් යොමු කර ඇතැයිද කිය. තම පාසල් වල නේවාසිකාගාර ඇත්නම් ඒවා විවෘත කර තබමින් විභාගයට පෙනී සිටින දරුවන්සඳහා සහාය වන ලෙස සියළුම පාසල් වල විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. පවතින අයහපත් කාළගුණය හමුවේ යම් ආපදාවක් වුවහොත් ඒ සඳහාද කටයුතු සූදානම් කර තිබේ.

මේ වන විටත් දිවයින පුරා මෙම විභාග සම්බන්ධීකරණ කටයුතු සංවිධානය කර ඇති බවත් , හෙට දිනය වන විට ඒම සියළු කටයුතු අවසන් වන බවද කොමසාරිස්වරයා සඳහන් කළේය. පළාත් සහ කළාප අධ්‍යක්ෂකවරු ඇතුළු , සමස්ත අධ්‍යාපන පද්ධතියම මෙවර විභාගය පැවැත්වීම සඳහා සහාය ලබා දෙන බව කොමසාරිස්වරයා සඳහන් කළේය .

පසුගිය විභාග සඳහා ගෙවීම් කටයුතු සඳහා අදාළ මුදල් ලැබී ඇති බවත් ඒම ප්‍රමාද වීම් සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් පැවසූ කොමසාරිස්වරයා ඒහෙත් දරුවන්ගේ අනාගතය ‌ වෙනුවෙන් මෙම යුතුකම ඉටුකරන්නැයි ඉල්ලා සිටියේය. හැකි තරම් පොදු ප්‍රවාහන හෝ භාවිතා කරමින් තම දරුවන් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන කරා යොමු කරවන ලෙසද විභාග කොමසාරිස්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියෙය්ය.