Wednesday, 24 April 2024

ඩෙංගු පාලනයට හෙට සිට රටපුරා විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක්

Posted On Tuesday, 17 May 2022 09:32

ඩෙංගු පාලනයට හෙට සිට රටපුරා විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක්

 

ඩෙංගු රෝගීන් වැඩිවීම පාලනය කිරීම සඳහා හෙට (18) සිට මැයි 24 වනදා දක්වා රට පුරා විශේෂිත මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

අද (17) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එම වැඩසටහන මගින් හදුනාගත් අවධානම වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල විශේෂ මදුරු මර්දන වැඩසටහන් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ වෙනත් ස්වෙච්ඡා සේවකයන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සහයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඒ සදහා ජනතාවගේ දායකත්වය විශේෂයෙන් බලාපොරොත්තු වන බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

මෙම වසරේ මේ වන විට අප රට තුළින් ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 20,536ක් වාර්තා වී ඇතැයිද, එයින් රෝගීන් 2813ක් මැයි මාසය තුළදී වාර්තා වී ඇති බවද වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ කොළඹ, කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වාර්තා වුණු රෝගීන් ප්‍රමාණය මැයි මාසයේ වාර්තා වුණු රෝගීන්ගෙන් 43%කට අධික වන බවද, ගාල්ල, ත්‍රිකුණාමලය, යාපනය, මහනුවර,මඩකලපුව, කලුතර, කෑගල්ල, මාතර වැනි දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවද ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය පවතින වැසි සමයත් සමග ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවද මෙම අවස්ථාවේදී විශේෂයෙන්ම කළයුතු දෙය වන්නේ අප අවට පරිසරයේ පවතින මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා විනාශ කිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

යම් කෙනෙකුට පැය 24කට වඩා පවතින උණක් ඇතිනම් ඩෙංගු දැයි සැකහැර දැනගැනීම සදහා වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත් බවද, එම අවස්ථාවේදී වෛද්‍යවරුන් රෝගය ඩෙංගු යැයි විනිහ්චය කළහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනු ඇති බවද එමගින් ඩෙංගු රෝගයේ සංකූලතා සහ මරණ වළක්වාගැනීමට හැකිවනු ඇති බවද ඔහු කියා සිටියේය.

ඩෙංගු රෝගය වැළදීමට පෙර වළක්වාගැනීම ඉතාම වැදගත් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කළේය.