Wednesday, 08 May 2024

සිංහල - හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් ප්‍රවාහන සැලැස්මක්- අමතර බස් රථ 200 ක් ධාවනයට

Posted On Sunday, 10 April 2022 15:42

සිංහල - හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් ප්‍රවාහන සැලැස්මක්- අමතර බස් රථ 200 ක් ධාවනයට


එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් කොළඹ හා තදාසන්න නගර වල සිට දුර බැහැර ගම්බිම් කරා යන සහ ආපසු පැමිණෙන මගී ජනතාවගේ පහසුව සඳහා පුළුල් ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන අමාත්‍යාංශය මූලිකත්වයෙන් ඉදිරි දින කිහිපයේ දී ක්‍රියාත්මක වේ.

මෙම වැඩපිළිවෙල සඳහා පසුගිය වසර වල මෙන්ම මෙවර ද, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව ද මෙම ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා දායක වන අතර බලශක්ති අමාත්‍යාංශය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ද අතිරේක ලෙස දායකත්වය සපයනු ලැබේ.

එමෙන්ම, මෙම පොදු ප්‍රවාහන සැලැස්ම යටතේ දුම්රිය හා බස්රථ අප්‍රේල් මස 08 සිට 14 දක්වා කොළඹ සිට දිවයිනේ විවිධ පළාත් වලට ධාවනය වේ. ආපසු පැමිණෙන මඟීන් වෙනුවෙන් අප්‍රේල් 17 සිට ආපසු ගමන් වාර ක්‍රියාත්මක වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් කොළඹ කොටුව සිට මහනුවර - නානු ඔය - ඇල්ල -බදුල්ල දක්වා ගමන් වාර 13ක්, කොළඹ කොටුව සිට කුරුණෑගල-කන්කසන්තුරේ-මඩකලපුව දක්වා ගමන් වාර 15 ක්, කොළඹ කොටුවේ සිට ගාල්ල - මාතර-බෙලිඅත්ත දක්වා ගමන් වාර 08ක්, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ගමන් වාර 04 ද ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද, අමතර බස් රථ 200 ක් ධාවනයට එක් කරනු ඇත. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවාවක් ද, 08 සිට 19 දක්වා ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම, අධිවේගී මාර්ගයේ ද අමතර බස් රථ සේවාවක් යොදවා ඇති අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය ද අමතරව බස් රථ 300-500 ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කරනු ඇත. දුර ගමන් සේවාවන් සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ මට්ටක්කුලිය, මහරගම, මොරටුව, තලංගම යන ඩිපෝ වලින් ලබා දීමට ද කටයුතු කෙරේ.