Saturday, 18 May 2024

වාහන අංක තහඩු ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර- වාර්ෂිකව රුපියල් මිලියන 1440 ක ඉතිරියක්

Posted On Wednesday, 30 March 2022 16:04

වාහන අංක තහඩු ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර- වාර්ෂිකව රුපියල් මිලියන 1440 ක ඉතිරියක්


විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමට සැලසුම් කරමින් සිටින බව කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්‍යක්ෂ කේ.පී. වතුගේ මහතා විසින් පෙන්වා දෙන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ යටතේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා ලබාදුන් උපදෙස් අනුව ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මෙරටින් විදේශයන්ට ඇදීයන මුදල් රට තුළ ඉතිරිකර ගැනීම සඳහා 2024 වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.

දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිත අතර එම වසරේ සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීම අරඹයි.

මේ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සමඟ රජයේ කර්මාන්ශාලා දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරීත්වය සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. ඒ අනුව මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳව අවසන් ව්‍යාපෘති සැලසුමක් සහ ඉංජිනේරු වාර්තාවක් ඉදිරි මාස 06 ඇතුළත මෝටර් රථ වාහන කොමසාරිස්වරයාට ලබාදීමට නියමිතව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව, වසරකට වාහන ලක්ෂ 05 ක් පමණ මෙරට ලියාපදිංචි කරයි. ඒ අනුව, අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10 ක පමණ ඇනවුමක් විදෙස් රටවලට ලබාදෙයි. මේ අනුව, වසරකට රුපියල් මිලියන 600 ක් පමණ මුදලක් විදේශයන්ට ඇදීයයි.

මෙසේ වාර්ෂිකව පිටරටට ඇදීගිය අති විශාල මුදල් සම්භාරයක් මෙරටට ඉතිරිකර ගැනීමට හැකිව තිබිය දී, පැවති පසුගිය රජය එය ක්‍රියාත්මක නොකර සිටීමෙන් රටට අහිමි වූ මුදල ගරු අගමැතිතුමාගේ මෙම වැඩ පිළිවෙළත් සමඟ රටට ඉතිරි වීම විශේෂත්වයකි.

මෙම වාහන අංක තහඩු නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ඇළුමිනියම් තහඩුවක් යොදාගනියි. වාහන අංක තහඩු සෑදීම අදියර දෙකක් යටතේ සිදුකරන අතර පළමු අදියර යටතේ අර්ධ වශයෙන් නියමිත ප්‍රමාණයට සැකසූ තහඩු කොටස් ආනයනය කෙරේ. මේ සඳහා වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 600 කි.

එසේ ආනයනය කළ තහඩු කොටස් අකුරු සහ ඉලක්කම් මතුවන සේ දෙවැනි අදියර යටතේ තෙරපීමකට (එම්බ්‍රෝස්) ලක්කෙරේ. ඒ දේශීය කොන්ත්‍රාත් සමාගමක් මඟිනුයි. ඒ සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් වාර්ෂිකව වැයවෙයි. එම මුදල රට තුළ රැදෙතත් එය රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශ්‍යයට බැහැරවීම සිදුවෙයි. ඒ අනුව වසරකට වාහන අංක තහඩු නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් වැය වෙයි.

අග්‍රාමාත්‍යතුමාගේ මෙම වැඩපිලිවෙළ 2024 දී ඇරඹීමත් සමඟ ම එම මුදලත් රාජ්‍ය අංශය තුළ ම ඉතිරිවීම සිදුවෙයි. ඒ අනුව, දැනට දේශීය පෞද්ගලික සමාගමක් යටතේ ක්‍රියාත්මක මෙම කොන්ත්‍රාත්තුව 2024 දී අවසන්වීමත් සමඟම වාහන අංක තහඩු නිෂ්පාදනය කිරීම කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සතුවෙයි. වාහන අංක තහඩු නිෂ්පාදනය සඳහා වැයවන සියළු මුදල් රටතුළ රැදීමත්, එය රජය සතුවීමත් විශේෂත්වයකි.

වාහන අංක තහඩුවක් මේ වන විට වාහන හිමියන්ට ලබාදෙන්නේ රුපියල් 3,300 ක් වැනි මුදලකටයි. විදේශයෙන් ගෙන්වන අර්ධ වශයෙන් සැකසූ තහඩු කොටසක මිළ රුපියල් 2,200 ක් ලෙස දැක්වේ.

නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීමත් සමඟ ම ඉදිරියේදී ප්‍රමිතියෙන් යුතු තහඩු මඟින් වාහන අංක තහඩු සකසා වත්මන් මිලට වඩා අඩු මිලකට වාහන හිමියන්ට ලබාදීමට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව දැනටමත් සැලසුම් සකස් කරමින් සිටියි.

2024 වසර සඳහා සකස් කළ සැලසුම් අනුව මේ වන විට මෙරට ලියාපදිංචි කරන නව වාහන ප්‍රමාණය ලක්ෂ 12 ක් පමණ වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඒ අනුව, ලක්ෂ 24 ක වාහන අංක තහඩු ප්‍රමාණයක් වාර්ෂිකව රටට අවශ්‍යවෙයි. ඒ සඳහා දැනට පවතින මිල ගණන් යටතේ රුපියල් මිලියන 1,440 ක මුදලක් වැය කළ යුතුය. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ මෙම නව වැඩපිළිවෙළ යටතේ එම මුදලත් රට තුළම ඉතිරිවේ. මේ අනුව, අවසන් නිමැවුම සඳහා රාජ්‍ය අංශයෙන්, පෞද්ගලික අංශයට ලබාදෙන මුදල වූ රුපියල් මිලියන 720 ක මුදල ද රාජ්‍ය අංශය තුළම ඉතිරිවේ. මේ අනුව, මෙම දෙකේ එකතුව වන රුපියල් මිලියන 2,160 ක මුදලක් මෙරට රාජ්‍ය අංශය තුළ ඉතිරිවීම සිදුවෙයි.

මේ සඳහා අවශ්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයේ පහසුකම් සහ පුහුණු ශිල්පීන්ට මේ වන විට අවශ්‍ය පුහුණුව ලබා දී තිබේ. මෙවැනි තත්ත්වයක් තිබිය දී පසුගිය රජය නොසලකා හැරි නිෂ්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළ යටතේ කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මෙම නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අරඹා තිබේ.

කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව අමතරව පෞද්ගලික අංශයේ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමඟ තරගකර ලබාගත් ඉංජිනේරු ව්‍යාපෘති රැසක නිෂ්පාදන කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතියි.

යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැනට විදේශයන්ට ලබාදෙන නිෂ්පාදන අවස්ථාවන් පිළිබඳ වාර්තාවක් ද අගැතිතුමාගේ උපදෙසින් කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව මේ වන විට සකස් කරමින් සිටින බවත්, එම වාර්තාව ලද විගස විදේශයන්ට ලබාදෙන ව්‍යාපෘතිවලින් මෙරට කළ හැකි යාන්ත්‍රික ව්‍යාපෘතිවල වැඩ මෙරටේදීම ආරම්භ කිරීමට අගමැතිතුමාගේ අවධානය යොමු වී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යළි අවධාරණය කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කේ.පී. වතුගේ, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු බී.ටී.ඩී. ජයසිංහ, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අලෙවි, ඉංජිනේරු එස්.එන්.බී.එම්. පද්මසිරි, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු ආනන්ද විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම රථ වාහන අංක තහඩු නිෂ්පාදනය රජයේ කර්මාන්ත ශාලාව මඟින් ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කර ඇත.