Thursday, 16 May 2024

ගාල්ල නගරයේ ගංවතුර පාලනය කිරීමට ඇල මාර්ග හා පාලම් ඉදිකෙරේ

Posted On Sunday, 27 March 2022 17:08

ගාල්ල නගරයේ ගංවතුර පාලනය කිරීමට ඇල මාර්ග හා පාලම් ඉදිකෙරේ


ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ඇතිවන ගංවතුර පාලනය කරමින්, සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට කඩිනමින් ක්‍රියාකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් උපදෙස් අනුව එම ගංවතුර තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ඇල මාර්ග සකස් කර අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිමා වී තිබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරේ.

ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකින් සමන්විත වේ. ඒ “මොරගොඩ ප්‍රධාන ඇල මාර්ගය සහ මොරගොඩ ඇල හරහා ඉදිකර තිබෙන මිලිද්දුව පාලම” ප්‍රතිසංස්කරණය කිරීම
යන කොටස් දෙකයි.

මෙයින් ප්‍රධාන ව්‍යාපෘතිය වනුයේ මොරගොඩ ඇල ප්‍රධාන ඇළ මාර්ග ව්‍යාපෘතියයි. මොරගොඩ ඇල විශාල සහ කුඩා ඇල මාර්ග රාශියකින් සමන්විත වූ ප්‍රධාන ඇල මාර්ගයක් වේ. එය වගුරුබිම් ජාලයකින් ද සමන්විත වේ. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ජලාපවාහන පද්ධතියේ ප්‍රධාන ජලාපවාහන ඇල වනුයේ මොරගොඩ ඇලයි.

නගරයේ ජල පවාහන පද්ධතිය ඇල මාර්ග දෙකක් සහ කපන ලද දියබස්නා ඇලකින් සමන්විත වේ. ඒ මොරගොඩ ඇල, මෝඩ ඇල සහ කැපූ ඇල යන ජල බස්නාවන් තුනෙන්ය. නගරය තුළ ඉදිකර තිබෙන සියලු අතුරු කාණු පද්ධති, දියපාරවල්, අතිරික්ත අපවිත්‍ර ජලය මෙන්ම පාර දෙපස කාණුවල අපිරිසිදු ජලය යන සියල්ල එකතු වන්නේත් මොරගොඩ ඇලටයි. මෙසේ එකතු වන ජලය මොරගොඩ ඇල හරහා මුහුදට ගලා බසී.

අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේ නිසි ප්‍රතිසංස්කරණයක් සිදු නොවීමෙන් පිටාර ගලමින් තිබූ මොරගොඩ ඇල සහ එයට සම්බන්ධ සියලු අතුරු මාර්ග පද්ධති සහ කාණු පද්ධති ප්‍රතිසංස්කරණය කර නගරය ගංවතුරෙන් යටවීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහාය.

මෙම ප්‍රධාන මොරගොඩ ඇල ගාල්ල නගරයේ ග්‍රාම සේවා වසම් 09 ක් ආවරණය කරමින් ගලා යයි.

ඒ අනුව බෝපේ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඇරඹෙන මොරගොඩ ඇල දෙද්දුව උතුර, දෙද්දුව දකුණ, මඩවලමුල්ල දකුණ, දංගෙදර නැගෙනහිර, මිලිද්දුව, මලිගස්පේ, මකුළුව, පෙට්ටිගලවත්ත, මාගාල්ල යන ග්‍රාම සේවා වසම් හරහා ගමන් කර මාගාල්ල ධීවර වරාය අසලින් මුහුදට වැටේ.

කිලෝමීටර් 05 ක දිගින් යුතු මොරගොඩ ඇලෙහි ජල පෝෂක ප්‍රදේශය කිලෝමීටර් 8.5 ක් වේ. එම දිගින් ගාල්ල මහ නගර සීමාවේ කිලෝමීටර් 4.3 ක දුරක් එනම් කහදූවවත්ත සිට මාගාල්ල දක්වා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ගංවතුර අවම කිරීම මෙහි මූලික අරමුණයි. ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් සහ අපජලය, මලාපවාහන ජලය ඍජුවම ඇල මාර්ගයට මුදා හැරීමෙන් වළක්වා ගැනීම ඒ යටතේ වන අනෙක් අරමුණයි. මේ සඳහා වන බාධක ඉවත් කිරීම, ආරක්ෂක කළාපයක් බවට ඇල මාර්ගය පත්කිරීම, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සඳහා පහසුකම් සැපයීම, ඇල මාර්ගයේ ජලය බසිනා මාර්ගය වැඩිදියුණු කිරීම, ඒ මඟින් ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම අපේක්ෂිත අනෙක් අරමුණු වෙයි.

මොරගොඩ ඇල මාර්ගය රුපියල් මිලියන 590 ක සංවර්ධන ව්‍යාපෘතියකි. මෙහි කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කරයි. ගාල්ල නගරයේ ක්‍රියාත්මක දෙවැනි කොටසේ ව්‍යාපෘතිය වනුයේ මොරගොඩ ඇල හරහා මිලිද්දුව පාලම ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒ යටතේ අපේක්ෂිත අරමුණ ලෙස දක්වා ඇත්තේ නගර සභා බල ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සහ එමඟින් ඇති වී තිබු මහජනතාවගේ අපහසුතා දුරලීමයි.

මේ යටතේ මොරගොඩ ඇල හරහා පවතින මිලිද්දුව පාලම ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ. මෙම පාලමේ සම්පූර්ණ දිග මීටර් 15.5 කි. පළල මීටර් 13.5 ක් වේ. මේ සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 119 කි. 2020 දෙසැම්බර් මස 01 වන දිනෙන් වැඩ ඇරඹූ මෙහි වැඩකටයුතු 2021 දෙසැම්බර් මස 31 වන දින අවසන් වී තිබේ.

අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම තුළින් ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ අංශ තුනකට හිමිවේ. ඒ ගාල්ල නාගරික ප්‍රදේශවාසීන්ට, ව්‍යාපාරිකයින්ට සහ පරිපාලනය යන අංශ තුනටයි. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක නිමවීමත් සමඟම මාගාල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි සෞඛ්‍ය ගැටලුවට ඍජුවම සහ වක්‍රාකාරව බලපෑ හේතු සියල්ල ඉවත් වී යනු ඇති බවට ප්‍රදේශවාසීහු විශ්වාසය පළ කරති. මෙමඟින් ආර්ථික ප්‍රතිලාභ, සෞන්දර්යාත්මක වටපිටාව, අවට ඉඩම්වල වටිනාකම ඉහළ යාම, මහජන ආරක්ෂාව වැඩිවීම ඇතුළු කරුණු රැසක් ඉටුවන බවට ද ප්‍රදේශවාසීහු පවසති.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සංවර්ධන කටයුතු සිදුකෙරේ.