Saturday, 04 May 2024

අවුරුදු හතකට පසු පුවත්පත් පඩිපාලක සභාව රැස්වෙයි

Posted On Wednesday, 23 March 2022 05:57

අවුරුදු හතකට පසු පුවත්පත් පඩිපාලක සභාව රැස්වෙයි

 

විද්‍යුත් මාධ්‍ය සඳහා නව පඩි පාලක සභාවක්.

මෙරට පුවත්පත් කලාවේදී කර්මාන්තය සේවා හා වැටුප් ප්‍රමිතියේ තීන්දු කාරක පඩි පාලක සභාව වසර හතකට පසු පසුගියදා රැස්විය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පඩි පාලක සභාව සඳහා නැවත සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව එම පඩි පාලක සභාවේ ප්‍රථම නිල රැස්වීම කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් (21) කම්කරු දෙපාර්තමේන්තුවේ දී රැස් විය.

1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥාපනතට අනුව 1983 අගෝස්තු 29 වැනි දින ප්‍රකාශිත ගැසට් නිවේදනය මත 1983 ඔක්තෝබර් 26 වැනි දින ස්ථාපිත කරන ලද පුවත්පත් කලාවේදීන් සඳහා වන පඩිපාලක සභාව මේ රටේ පුවත්පත් කලාවේදීන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන ජාතික ආයතනය වේ.

පුවත් පත් කලාවේදීන්ගේ වැටුප්,වැඩ කරන දින ගණන,නිවාඩු,උසස්වීම් වැනි සේවා තත්ත්වයන් ප්‍රමිතිගත කිරීමේ වගකීම පැවරෙන්නේ පඩි පාලක සභා වෙතය.
වර්තමාන පඩිපාලක සභාව සේව්‍ය නියෝජිතයන් හත් දෙනෙකු ගෙන් ද සේවක නියෝජිතයන් හත් දෙනෙකු ගෙන් ද ඇමැතිවරයා විසින් නම නියම කොට පත් කරන ලද සාමාජිකයන් තිදෙනකු ගෙන් ද යුක්ත වේ.

එහි දී අදහස් දැක්වූ කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ,වෘත්තීය සමිති නියෝජනය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන්ම නම් කිරීම පඩි පාලක සභාවේ කටයුතුවලට බෙහෙවින් ඵලදායී වන බවය.
මේ වන විට පුවත්පත් කලාවේදීන් සදහා වන පඩි පාලක සභාව නියෝජනය වන්නේ මුද්‍රිත මාධ්‍ය පමණක් හෙයින්, මේ වනවිට රටේ ක්‍රියාත්මක රූපවාහිනි, ගුවන් විදුලි හා වෙබ් මාධ්‍ය වෙනුවෙන් පඩි පාලක සභා නියෝජනයක් තිබීමෙි වැදගත්කම මෙහි දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර සිටියේය.