Tuesday, 07 May 2024

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් වේගවත් කෙරේ

Posted On Saturday, 26 February 2022 17:05

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් වේගවත් කෙරේ


මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 37ක දුරින් යුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර දැනට මෙහි වැඩ කටයුතු 25%ක් පමණ අවසන්ව පවතින බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23ක් උසැති කුළුණු මතින් තැනවෙන අතර කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37කින් යුත් කොටසෙහි කිලෝ මීටර් 15ක දුරක් කුලුනු මතින් ඉදි කෙරෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතා ඉදිකිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පැවසීය.

කඩවත - මීරිගම කොටස අතර අන්තර් හුවමාරු ස්ථාන 03කින් සමන්විත වේ. එය ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම දකුණ වශයෙන් වන බවත් මීට පෙර සැලසුම් කොට තිබූ ගම්පහ - ජාඇල මාර්ගයේ අකරවිට ප්‍රදේශයෙන් ගම්පහ දකුණ වශයෙන් සඳහන් අර්ධ හුවමාරුව ඉවත්කොට ඇති බවත් අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.

මේ අතර ආනන්ද මාවත ( බණ්ඩාරනායක විදුහල) අසලින් ආරම්භ වන ගම්පහ අන්තර් හුවමාරුව ඔස්සේ වැඩි රථවාහන සංඛ්‍යාවක් ගමන් ගැනීම සැලකිල්ලට ගනිමින් ගම්පහ - යක්කල මාර්ගයත් , ගම්පහ - මිරිස්වත්ත මාර්ගයත් මංතීරු 04කින් සමන්විතව පුළුල් කොට සංවර්ධනය කිරීමට සැලසුම් කොට ඇත.

මීට පෙර සැලසුම් කොට තිබූ ජාඇල මාර්ගයේ ගම්පහ සහ අකරවිට අතර අර්ධ හුවමාරුව ඉවත් කරමින්, ගම්පහ - යක්කල මාර්ගයේ බණ්ඩාරනායක විදුහලට නුදුරු කල්‍යාණි පාර අසල සිට පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ වයි හන්දිය දක්වා මංතීරු 04කින් සමන්විතව කුලුනු මතින් කිලෝ මීටර් 02ක් දිගැති මාර්ගයක් ඉදි කෙරෙන බවත් ගම්පහ නගරයේ ඇතිවිය හැකි වාහන තදබදය මගහරවා ගැනීම පිනිස මෙය සකස් කෙරෙන බවත් රත්නායක මහතා පැවසීය.

ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ වයි හන්දිය අසලින් මාර්ගයක් යෙදීම මත මිනුවන්ගොඩ දෙසින් සහ ජාඇල මාර්ගය දෙසින් පැමිණෙන ජනතාවට එම ස්ථානයෙන් අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවිෂ්ට වීමට හැකි වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

තවද ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයද උඩුගම්පොළ දක්වා වන කොටස මංතීරු 04කින් සමන්විත වන ලෙසින් පුළුල් කොට සංවර්ධනය කිරීමට නියමිතය. අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ගම්පහ අන්තර් හුවමාරුව ඉදිකිරීමට සමගාමීව කලින් සැලසුම් කොට තිබූ ආනන්ද මාවත සහ කල්‍යාණි පාර පුළුල් කිරීමක් සිදු නොවනු ඇත.

ඉදිරි වසර 02ක කාලය තුළ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කොට ඇති බව සඳහන් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතා , මේ සඳහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ රුපියල් බිලියන 158ක මුදලක් වැය කෙරෙන බව ද කීය.

 

මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මගින් සිදු කරනු ලබයි. කඩවත - මීරිගම කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන්වූ පසුව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බෙලිඅත්ත සිට කුරුණෑගල දක්වා සෘජුව ගමන් ගැනීමට හැකි වනු ඇත.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ