Friday, 03 May 2024

ශ්‍රී ලංකාවේ තාක්ෂණවේදී උපාධිය හදාළ ප්‍රථම කණ්ඩායමට උපාධි සහතික පත්‍ර ප්‍රදානය කෙරේ

Posted On Wednesday, 23 February 2022 15:48

ශ්‍රී ලංකාවේ තාක්ෂණවේදී උපාධිය හදාළ ප්‍රථම කණ්ඩායමට උපාධි සහතික පත්‍ර ප්‍රදානය කෙරේ


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 47 වන උපාධි ප්‍රදානෝත්සවය පෙබරවාරි 26,27, සහ 28 දිනවල කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණවේදී උපාධිය හදාළ ප්‍රථම විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමට උපාධි සහතික පත්‍ර ප්‍රදානය පෙබරවාරි 28 සිදුකෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවේය.

එදින උපාධි පිරිනැමෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට 2015/2016 අධ්‍යයන වර්ෂය සඳහා බඳවාගත් ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට ය.

උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 47 වන උපාධි ප්‍රදානෝත්සවය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිණි. මාධ්‍ය සාකච්ඡාව Zoom තාක්ෂණය ඔස්සේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී මානවශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයෙන් විද්‍යාර්ථීන් 834ක් ද කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයෙන් 1185ක් ද ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් 650ක් ද වෛද්‍ය විද්‍යා පීඨයෙන් 233ක් ද පශ්චාද් උපාධි පීඨයෙන් 465ක් ද තාක්ෂණ පීඨයෙන් 298ක් ද ඉංජිනේරු පීඨයෙන් විද්‍යාර්ථීන් 103ක් ද වශයෙන් විද්‍යාර්ථීන් 3768 දෙනෙකු උපාධි සඳහා සුදුසුකම් ලබාගෙන ඇත. උපාධි ප්‍රදානය 2022 පෙබරවාරි 26, 27 සහ 28 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් විද්‍යාවේදී ඉංජිනේරු ගෞරව උපාධිය, තාක්ෂණ පීඨයෙන් ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධිය, ජෛව පද්ධති තාක්ෂණ ගෞරව උපාධිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගෞරව උපාධිය ප්‍රදානය කෙරෙන බව මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ උසස් අධ්‍යාපන ක්‍රමය ලංකාවට හඳුන්වාදී 2021ට වර්ෂ 100ක් සපිරෙන බව උපකුලපතිවරයා කීවේය. 2021 වර්ෂය උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් බව කී සුදන්ත ලියනගේ මහතා 2021 ප්‍රථම වරට ලංකාවේ විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨවලින් විද්‍යාර්ථීන් 1500ක‍ට වැඩි පිරිසක් ඔවුන්ගේ

උපාධිය අවසන් කළයුතුව තිබූ බවත් කීවේය. “අවුරුදු 25ක 30ක කාලයක සිට අපේ රටට ඉතාමත් අඩුවක්ව පැවති තාක්ෂණවේදී උපාධිධාරී ප්‍රථම කණ්ඩායම අපි රටට දායාද කරනවා. මොවුන් සියල්ලන් ම දැනටමත් පෞද්ගලික ආයතනවල රැකියාවල නිරත වෙනවා. මේ කණ්ඩායමෙන් කැමති අය ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමත් අපේ බලාපොරොත්තුවක් වුණා. තාක්ෂණවේදීන් කියන්නේ රටට අත්‍යවශ්‍ය ම පිරිසක්. අපේ රටේ ඉංජිනේරුවරුගේ සංඛ්‍යාව වැඩියි. තාක්ෂණවේදීන්ගේ සංඛ්‍යාව අඩුයි. ඒ නිසා තාක්ෂණ පීඨයට ඇතුළත් කර ගන්න සිසුන්ගේ සංඛ්‍යාව වැඩිකරන්න අපි තීරණය කරලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ඉදිවුණු තාක්ෂණ පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ” උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය කේ.එම්.සී. කොන්තසිංහ මහතා සහ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ඒ. එච්. එල්. ආර්. නිල්මිණි මහත්මිය සහභාගී වූහ.