Thursday, 02 May 2024

බූස්ටර් එන්නතට පෙරට වඩා ජනතාව ඉදිරිපත් වෙනවා- අවුරුදු 05ට වැඩි ළමයින් එන්නත්කරණයට තවම තීරණයක් නෑ

Posted On Tuesday, 22 February 2022 17:00

බූස්ටර් එන්නතට පෙරට වඩා ජනතාව ඉදිරිපත් වෙනවා- අවුරුදු 05ට වැඩි ළමයින් එන්නත්කරණයට තවම තීරණයක් නෑ


බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා පෙරට වඩා දැන් ජනතාව ඉදිරිපත් වන බවත්, මේ වන විට ලක්ෂ 64 ඉක්මවා බූස්ටර් එන්නත ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියේ, අද (22) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

දිනකට 20,000 ඉක්මවූ පුද්ගලයින් ගණනක් බූස්ටර් එන්නත ලබාගන්නා බවද, සමහර දිනවල මෙම ගණන 40,000 ඉක්මවන අතර ඇතැම් දිනවල ලක්ෂයකට ආසන්න පිරිසක් බූස්ටර් එන්නත ලබාගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වයස අවුරුදු 05ට වැඩි ළමයින්ට එන්නත්කරණය ඇරඹීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බවද, ඊට චක්‍රලේඛ නිකුත් කර නැතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එන්නත්කරණය යම් සාධනීය මට්ටමකට පැමිණියහොත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය නීති තවදුරටත් ලිහිල් කළ හැකි බව කියා සිටි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, විදෙස්ගත වීමේදී ඇතැම් රටවල් ෆයිසර් එන්නත් මාත්‍රා 02ක් ඉල්ලන බවත්, එවැනි පුද්ගලයන් සඳහා අවශ්‍ය ලිපි ලේඛණ ඉදිරිපත් කළහොත් ෆයිසර් එන්නතෙහි දෙවනි මාත්‍රාවක්ද ලබාදිය හැකි බව වැඩිදුරටත් පැවසීය.