Monday, 29 April 2024

රුපියල් කෝටි විසි හයක වියදමින් ඉදි කළ බදුල්ල කම්කරු කාර්යාලය හෙට ජනතා අයිතියට

Posted On Thursday, 17 February 2022 07:43

රුපියල් කෝටි විසි හයක වියදමින් ඉදි කළ බදුල්ල කම්කරු කාර්යාලය හෙට ජනතා අයිතියට


වසර පනහක පමණ කාලයක් බදුල්ල දුම්රිය පොළ පාරේ පහසුකම් වලින් අඩු ස්ථානයක පැවැති බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සඳහා අලුතින් ඉදිකෙරුණු සිව් මහල් ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් මෙම මස 18 වැනිදා ( හෙට ) ජනතා අයිතියට පත්කෙරේ.

බදුල්ල පස්සර මාර්ගයේ හිඳගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සිව් මහල් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය විසින් වැයකර ඇති මුදල රුපියල් විසිහය කෝටි අසූ එක් ලක්ෂ හැත්තෑ දහසකි.

මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග දැනට කුලී පදනම මත තාවකාලික ස්ථානවල ස්ථාපිත කර ඇති කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල දෙකක් වන ඌව පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය සහ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය ද මෙම නව ගොඩනැගිල්ලෙහි සිට සිය රාජකාරි සිදු කරනු ලබන බව මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල විවෘත වීමත් සමගම එතුළින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩ කරන ජනතාවට මෙන්ම සමස්ත ඌව පළාත් ජනතාවට වඩාත් සුව පහසුව සහිතව සිය සේවාවන් ඉටුකර ගැනීමේ හැකියාව උදාවී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මගින් බදුල්ල,වැලිමඩ,පස්සර,ඇල්ල,හාලිඇල,සොරණාතොට,ඌව පරණගම, කන්දකැටිය සහ මීගහකිවුල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශවලට අයත් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ආයතන 2900 කට අධික ප්‍රමාණයක සේව්‍ය සේවක පිරිසක් අවරණය කෙරෙන බවත්, ඌව පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය මගින් බදුල්ල, හපුතලේ,මොණරාගල යන දිස්ත්‍රික් කම්කරු කාර්යාල තුන සහ මහියංගනය උප කම්කරු කාර්යාලය අධීක්ෂණය කෙරෙන බවත් දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය මගින් බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක තුන තුළ පිහිටි වැඩබිම් ආවරණය කෙරෙන බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.