Friday, 19 April 2024

ලබන වසරේ සිට සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකටම ප්‍රවෘත්ති නිලධාරියෙක්

Posted On Sunday, 19 December 2021 16:27

ලබන වසරේ සිට සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකටම ප්‍රවෘත්ති නිලධාරියෙක්


රජයට බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ලබන ජනවාරී මාසයේ දී ස්ථිර කිරිමෙන් පසුව ඔවුන්ගෙන් දිවයිනේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම සහකාර ප්‍රවෘත්ති නිලධාරියෙකු බැගින් බඳවාගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව බඳවා ගැනීමට බලාපොරොත්තු වන නිලධාරීන් සංඛ්‍යාව 341 දෙනෙකි. ඒ ඒ ප්‍රදේශවල සිදුවන සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් මෙන්ම සංවර්ධනයට අදාළ ප්‍රාදේශීය වශයෙන් පවතින සියලුම තත්ත්වයන් නිවැරදිව හඳුනාගැනීම හා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම උදෙසා මෙම නිලධාරීන්ගේ සහය ලබාගැනිමට බලාපොරොත්තු වේ.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට හසු නොවන හෝ එම මාධ්‍ය වලින් ප්‍රචාරයක් නොලැබෙන අත්‍යවශ්‍ය සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් , අවස්ථාවන් බොහෝ සේ පවතී. ඒවා ජනමාධ්‍ය තුලින් මෙන්ම විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම නිරන්තරව ම සිදුකිරිම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කී ය.

දිස්ත්‍රික් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් ලෙස රජයේ ප්‍රවෘත්ති නිලධාරීවරුන්ට දිස්ත්‍රික්කය තුල පවතින රජයේ හෝ වෙනත් ආයතන වල පවතින ගැටළු නිවැරදිව සොයා වර්තා කිරිමේ අවස්ථාව තිබෙන බවත් , මෙරට මාධ්‍ය භාර අමාත්‍යවරයා වශයෙන් එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නක් බවත් අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබී ය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පලකළේ , දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කර වසර 22ක් පිරීම නිමිත්තෙන් , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ,සියලුම දිස්ත්‍රික්කයන් හි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකක නිලධරීන් සඳහා මහනුවර දී පැවැති වැඩමුළුවකට එක්වෙමිනි.

“ සංවර්ධන සන්නිවේදනය , නගරයෙන් ගමට - ගමෙන් නගරයට ,, යන තේමාවෙන් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක නිලධරීන් දැනුවත් කරීම සඳහා මහනුවර දී 17 සහ 18 දෙදින තුල දී මෙම මැඩමුළුව සංවිධානය කර තිබුණි. .

එහිදී නිවැරදි ප්‍රවෘත්ති රචනය , කැමරා භාවිතය , සමාජ මාධ්‍ය හරහා තොරතුරු ප්‍රචාරය කිරිමේ නිවැරදි ක්‍රමවේදයන් , රූප සංස්කරණය , ධාරිතා සංවර්ධනය ආදී අංශ ගණනාවක් පිිබඳව මාධ්‍ය ඒකක නිලධරින් වෙත ප්‍රායෝගික පුහුණුවක් ලබාදුන්නේ ය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීම සඳහා කැමරා හා තාක්ෂණික උපකරණ බෙදාදීම ද ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් සිදුකළේ , මීට සමගාමීව යි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් මොහාන් සමරනායක , අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලේඛා පතිරණ , අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය ) මිලින්ද රාජපක්ෂ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජයතිස්ස ගමගේ , සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එල්.පී. තිලකරත්න යන මහත්ම මහත්මීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
අනුරාධපුරය