Thursday, 25 April 2024

නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්න

Posted On Wednesday, 10 November 2021 09:10

නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්න

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්නා ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10)පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යැමේ පළමු පූර්ව නිවේදනය නොවැම්බර් මස පළමුවැනි දින නිකුත් කළ බවත් දිවයිනේ බදුල්ල ,ගාල්ල , කළුතර , නුවර , කෑගල්ල , මාතලේ , නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට එය නිකුත් කළ බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විවෘත කොට වර්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ බවත් වර්ෂාවේ තීව්‍රතාවය අඩු වැඩි වීමත් සමග නායයාම් දැනුම් දීමේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

දිනකට මිලිමීටර් 75 ඉක්මවන් වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවේදී මහජනතාවට විමසිල්ලෙන් පසුවීමටත් මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති වන විට එම ප්‍රදේශවලින් ඉවත් වීමට සූදානම් වන ලෙසත් මිලිමීටර් 150ට වැඩි වර්ෂාවක් ඇති වන විට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් ජනතාවට උපදෙස් ලබා දී ඇති බව ඒ මහතා කියා සිටියේය.

ඊයේ (09) සවස වන විට නාය යාමේ පූර්ව දැනුම් දීමේ නිවේදනය යාවත්කාලීන කළ බවත් ඒ අනුව විශේෂයෙන්ම කෑගල්ල , කුරුණෑගල සහ නුවර දිස්ත්‍රික්කවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව නිරීක්ෂණය වූ බවත් ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , රුවන්වරල්ල , මාවනැල්ල , අරණායක , බුලත්කොහුපිටිය , දෙහිඕවිට , රඹූක්කන , කෑගල්ල , මාවනැල්ල ,වරකාපොල, ගලිගමුව , දැරණීයගල යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසවලට නායයාමේ රතු නිවේදන නිකුත් කළ බවද පැවසිය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය , රිදීගම , අලව්ව , නාරම්මල , මාවතතම, පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාම් රතු නිවේදන නිකුත් කළ බවත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව , දොලුව , යටිනුවර, උඩපලාත, පස්බාගේකෝරළය, ගඟවට කෝරළය , උඩුනුවර, ගඟ ඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාම් රතු නිවේදන නිකුත් කළ බවත් කරුණාවර්ධන මහතා පැවසීය.

දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක පිළිබඳ සැළකීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයට නායයාමේ දෙවෙනි අදියරේ රතු නිවේදනය නිකුත් කළ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසවලටද නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කළ බවත් ඒ මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,අක්මීමන , ගාල්ල , කඩවත්සතර , යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය නාමේ පළමු අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.තවද ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම , අත්තනගල්ල , දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යාමේ පළමු අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , අගලවත්ත , බුලත්සිංහල පාලින්දනුවර සඳහා දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර , මිණීපේ , මැදදුම්බර , පූජාපිටිය , උඩුදුම්බර , දෙල්තොට , හතරලියද්ද , අකුරණ , පන්විල , කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට , උකුවෙල , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර යටවත්ත , පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ පළවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.

මහ නුවර දිස්ත්‍රික්කයේ කොත්මලේ , වලපනේ , හඟුරන්කෙත , අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ පළමුවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම , රත්නපුර , ඇහැලියගොඩ, කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ දෙවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත. එමෙන්ම ඇලපාත, කිරිඇල්ල , නිවිතගල , කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ පළවන අදියරේ රතු නිවේදනය නිකුත් කර ඇත.

වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති කුරුණෑගල , කෑගල්ල හා නුවර දිස්ත්‍රික්කයට වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන දඹුල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් රඹුක්කන කුඩාගම ප්‍රදේශයේ නායයාමේ අවදානමක් තිබී ඇති බවත් ගෙවල් තුනකට පස් කන්දක් කඩා වැටී ඇති බවත් ගෙවල් 12කට අයත් පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත් ගලිගමුව පුස්සැල්ල ප්‍රදේශයේ ද පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු බේරා ගත් බවත් පුද්ලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවත් ගලිගමුව පනාකාව ප්‍රදේශයේ ද පස් කන්දක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදුව ඇතත් කිසිදු පුද්ගලයකුට හානි සිදු වී නැති බවත් පැවසීය.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයේ ඉවුරු කඩාවැටීමක් සිදු ව ඇති බවත් පොල්ගහවෙල අරාගොද ප්‍රදේශයේ ගල් පෙරළීම් සිද්ධියක් සිදු වී ඇති බවත් වාර්තා වී ඇත.එසේම කඩිගමුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට හානි සිදු ව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, බොහෝ ප්‍රදේශවලින් පස් කඳු කඩා වැටීම් වාර්තා වී ඇති බව පැවසීය.පස්කඳු කඩාවැටීමෙන් හා නායයාම් ස්ථාන 115 ක් පමණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හඳුනා ගෙන තිබේ.නිලධාරී කණ්ඩායම් යුහුසුළුව එම ප්‍රදේශවලට යවා එම අවධානම පිළිබඳ පරීක්ෂණයන් සිදු කරන බවත් ඒ මහතා පැවසීය.

නාය යාම් පූර්ව නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාව එම නිවේදන අනුව දැඩිව කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.මෙම නාය යාමේ නිවේදන අදියර තුනකින් නිකුත් කරන බව පවසන ඒ මහතා එසේ නිවේදනයන් නිකුත් කර ඇති ප්‍රදේශවල කිසියම් මොහොතක නායයාමක් සිදු විය හැකි බවත් එම නිවේදනවලට අනුව කටයුතු කළ යුතු බවත් පැවසීය.

එම ප්‍රදේශවල පොළවේ ඇතිවන ඉරි තැලීම් , ගැඹුරු පැල්මවල් , ක්‍රමයෙන් ඇළවී යන විදුලි කණු ගස් ,දුරතකන කණු , ගොඩනැගිලි බිත්තිවල ඇතිවන පිපිරුම් ඒවා ක්‍රමයෙන් වර්ධනය වන්නේ නම් ජල උල්පත් ඇතිවන්නේ නම් මේවා නාය යාම්වල පූර්ව ලක්ෂණ බව පෙන්වා දේ.මෙම ලක්ෂණ ඇතිවන්නේ නම් වහාම එම ස්ථානවලින් පිටවිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.එවැනි ස්ථාන පිළීබඳ ව දන්නේ නම් 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඒ මහතා දැනුම් දේ.

ඉවුරු ආසන්නයේ ජීවත් වන ජනතාව එම ප්‍රදේශවලින් ඉවත්ව සිය ආරක්ෂාව සළසාගන්නා ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ ඒකකය නිකුත් කරන නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්නා ලෙසත් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය