Friday, 19 April 2024

මෙරට අවුරුදු 20ට වැඩි ජනගහණය ඉහළ මට්ටමක ප්‍රතිශක්තිකරණයකට පැමිණිලා- විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

Posted On Wednesday, 20 October 2021 09:13

මෙරට අවුරුදු 20ට වැඩි ජනගහණය ඉහළ මට්ටමක ප්‍රතිශක්තිකරණයකට පැමිණිලා- විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්


මෙරට අවුරුදු 20ට වැඩි ජනගහණයෙන් ඉහළ මට්ටමකට ප්‍රතිශක්තිකරණය පැමිණ ඇති බවද ඇස්තමේන්තුගත ජනගහණයෙන් පළමු මාත්‍රාව 100% ඉක්මවා සහ දෙවන මාත්‍රාව 87.5% ඉක්මවා ලබාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙනි.

මේ වන විට 14,780,138කට එනම් මෙරට සමස්ථ ජනගහණයෙන් 70%කට පළමු මාත්‍රාව ලබාදී අවසන්ව ඇතැයිද දෙවන මාත්‍රාව 12,783,535 ක් සදහා ලබාදී ඇතැයිද සිහිපත් කළ හේමන්ත හේරත් මහතා 1971 වසරේ මෙරට ජනගහණයද එක්කෝටි විසිහත් ලක්ෂයක් බව සදහන් කළේය.

මේ මොහොතේ බලාපොරොත්තු වුණු වේගයට වඩා අඩු වේගයකින් තරුණ ප්‍රජාව එන්නත් ලබාගන්නා බව සදහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබදව අවධානය යොමු කර වැඩි වැඩියෙන් තරුණ ප්‍රජාව එන්නත්කරණය සදහා යොමු කරගැනීමට හැකි වන්නේ නම් වැදගත් බවයි.

මේ පිළිබදව ඇති දුර්මත සහ අනෙකුත් දේවල් පිළිබදව නොතකමින් ලබාගත හැකි ළගම ස්ථානයකින් එන්නත ලබාගැනීම වැදගත් වන බවද එසේ නොවුණහොත් ඉදිරියේදී සංචරණ සීමා ඉවත් කිරීමත් සමග යම් ආකාරයකට රෝගය වැඩි වීමක් සිදුවුවහොත් තමන්ගේ නිවෙස් වල සිටින ආදරණීයයන් හටද එන්නත ලබා නොගත් තරුණ පිරිස් මගින් රෝගය ගෙනයා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

මෙම කරුණු පිළිබදව අවධානය යොමු කර සියලුදෙනා එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය