Wednesday, 24 April 2024

ලෝක සහන සත්කාර දිනය අදයි- කිසිවෙකුත් අත් නොහරිමු - සමානාත්මතාවයෙන් සහන සත්කාර සේවාව ලැබගනිමු

Posted On Saturday, 09 October 2021 10:43

ලෝක සහන සත්කාර දිනය අදයි- කිසිවෙකුත් අත් නොහරිමු - සමානාත්මතාවයෙන් සහන සත්කාර සේවාව ලැබගනිමු

 

ලෝක සහන සත්කාර දිනය අදයි... කිසිවෙකුත් අත් නොහරිමු - සමානාත්මතාවයෙන් සහන සත්කාර සේවාව ලැබගනිමු

මෙම වසරෙහි ලෝක සහන සත්කාර දිනය ඔක්තෝබර් 09 වෙනිදාට යෙදී ඇත. මෙවර එහි තේමාව වනුයේ කිසිවෙකුත් අත් නොහරිමු - සමානාත්මතාවයෙන් සහන සත්කාර සේවාව ලැබගනිමු යන්නයි. එමගින් සියලුදෙනාටම සමානාත්මතාවයෙන් සහන සත්කාර සේවාව ලබාගැනීම සදහා ඇති අයිතිය පිළිබදව අවධානය යොමු කෙරෙයි.

සහන සත්කාර සේවාව යනු ජීවිතයට තර්ජනය විය හැකි රෝගාබාධ වලින් පීඩා විදින (ළමා/ වැඩිහිටි) රෝගියෙකුගේ වේදනාව ඇතුළු කායික, මානසික, ආධ්‍යාත්මික සහ සමාජීය ගැටලු කල් ඇතිව හදුනාගැනීම, නිවැරදි පරිපූර්ණ ඇගයීම සහ ඒ සදහා ප්‍රතිකාර කිරීම මගින් එම රෝගීන් සහ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත වල ඇති ගුණාත්මකභාවය වර්ධනය කරගැනීම සදහා ඇති ප්‍රවේශයකි.

සෑම වසරකම මිලියන 40ක් පමණ රෝගීන් සංඛ්‍යාවකට සහන සත්කාර සේවාව අවශ්‍ය වන බව තක්සේරු කර ඇති අතර ඔවුන්ගෙන් 78%ක් පමණ ප්‍රමාණයක්ම ජීවත් වන්නේ මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල් වලයි. ලෝකය පුරා සිටින සහන සත්කාර සේවාව අවශ්‍ය වන රෝගීන් අතරින් සහන සත්කාර සේවාව ලැබෙන්නේ 14%කට පමණි.

ශ්‍රී ලංකාව තුළද බෝ නොවන රෝග සහ වයස්ගත ජනගහණයේ ව්‍යාප්තියත් සමග සහන සත්කාර සේවාවේ අවශ්‍යතාවය වැඩිවෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් 75%කට පමණම නිදන්ගත බෝ නොවන රෝග හේතු වෙයි. ජීවිතයට තර්ජනය වියහැකි රෝගාබාධ වලින් පසුවන රෝගීන් සදහා සහන සත්කාර සේවාව රොගෙය හදුනාගත් මොහොතේ සිටම ආරම්භ වන අතර එය රෝගියාගේ මරණයෙන් අනතුරුව වියෝදුක් සමය දක්වාද ලබාදෙයි.

වියෝදුක සමනය සදහා ලබාදෙන සත්කාරය (Bereavement Care) රෝගියාගේ මරණයෙන් අනතුරුව ජීවත් වන එම පවුලේ සාමාජිකයන්ට එම වියෝ දුක සමනය කරගැනීමට උපකාර කිරීම සදහා ලබාදෙන සත්කාරයකි. සහන සත්කාර සේවාව අවශ්‍ය වන රෝගීන්ගෙන් සුළු පිරිසකට විශේෂඥ සහන සත්කාර සේවාව අවශ්‍ය විය හැකි අතර රෝගීන්ගෙන් බහුතරයකටම ප්‍රජාව තුළදී ඔවුන්ට අවශ්‍ය සම්පූර්ණ සහන සත්කාර සේවාව ලබාදිය හැකිය.

දැනට පවතින සහන සත්කාර සේවා සදහා ඇති පහසුකම්..

01. රෝහල් - විශේෂඥ සහන සත්කාර සේවා.

ද්විතීයික සහ තෘතීයික රෝහල් වලදී විවිධ ක්ෂේත්‍රයන් වලට අයත් නිලධාරීන් එකතු වී රෝගීන් උදෙසා සහන සත්කාර සේවාව ලබාදෙයි.

02. ප්‍රාථමික සත්කාරයේදී ලබාදෙන සහන සත්කාර සේවාව.

ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථාන (ප්‍රාදේශීය රෝහල්, ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන) සහ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී සහන සත්කාර සේවාව ලබාදෙයි.

03. ගිලාන ගිමන්හල් (Hospice) ලබාදෙන සේවාව.

04. නිවසේදී ලබාදෙන සත්කාරය.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඇතුළු පුහුණුව ලත් රජයේ ක්ෂේත්‍ර නිලධාරී නිවස තුළදීම රෝගීන්ට සහන සත්කාර සේවාව ලබාදෙයි.

සහන සත්කාර සේවාව අවශ්‍ය වන විවිධ ක්ෂේත්‍රයන් වලට අයත් කණ්ඩායම්.

Ø විශේෂඥ වෛද්‍යවරුන්

Ø වෛද්‍ය නිලධාරීන්

Ø හෙද නිලධාරීන්

Ø භෞත චිකිත්සකවරුන්

Ø පෝෂණවේදීන්

Ø උපදේශන නිලධාරීන්

Ø ඖෂධවේදීන්

Ø සමාජසේවා නිලධාරීන්

Ø මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්

Ø ප්‍රාථමික සෞඛ්‍ය සේවකයන්

ඉදිරියේදී ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගාබාධ වලින් පසුවන රෝගීන් සහ එම පවුලේ සාමාජිකයන් සදහා සහන සත්කාර සේවාව ලබාදීම පිළිබදව සෞඛ්‍ය සේවකයන්ට හදුන්වාදීමට නියමිතය.

එමෙන්ම විවිධ මට්ටම් වල ඇති ශක්තීන් සහ අභියෝග හදුනාගැනීම සහ සෞඛ්‍ය සේවාවේ සියලු මට්ටම් වලදී සහන සත්කාර සේවාව ලබාදීම ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ලබාදෙනු ඇත.

ළමයින්, වයස්ගත පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන්, සමාජයෙන් සැගවී වෙසෙන පුද්ගල කණ්ඩායම් සහ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් වැනි අඩු අවස්ථාවන් හිමිවිය හැකි පුද්ගලයන් ඇතුළු සියලුම දෙනාට සමානාත්මතාවයෙන් යුතුව සහන සත්කාර සේවාව ලබාගැනීම සදහා අවස්ථාව සලසා දෙනු ඇත.

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.