Friday, 19 April 2024

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය හෙට විවෘත කෙරේ

Posted On Wednesday, 22 September 2021 16:17

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය හෙට විවෘත කෙරේ


විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය හෙට (23) විවෘත කෙරේ.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී හෙට (සැප්තැම්බර් 23) විවෘත කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව මෙම සම්බන්ධීකරණ කේන්ද්‍රීය මධ්‍යස්ථානය ඉදිකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වගකීම භාරගත් වහාම මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සම්බන්ධව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නියෝජනය කරන කණ්ඩායම්වල නියෝජිතයින් සමග ද සාකච්ඡා කළේය.

ඔවුන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ඉදිකළ මෙම කේන්ද්‍රස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිමි මහළේ ස්ථාපිතය. ඉලක්කගත කණ්ඩායමේ අවශ්‍යතාවන්ට අනුරූප වන පරිදි, පිවිසුම් මාර්ග සකස් කිරීම, සනීපාරක්ෂක පහසුකම් සැලසීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පිවිසීමේ මංතීරු ඉදිකිරීම, වාහන නතර කිරීමේ පහසුකම් සැලසීම ආදිය කෙරෙහි අවධානය යොමු කර මෙම කේන්ද්‍රස්ථානය සකස් කර ඇත.

 

ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය විවෘත කිරීම හෙට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෙට පෙරවරුවේදී සිදු කිරීමට නියමිතය.

මොහාන් සමරනායක
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්