Sunday, 05 May 2024

කොවිඩ් රෝගය පාලනය වගේම ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මහජනතාවට වැඩි වගකීමක් පැවරෙනවා

Posted On Friday, 06 August 2021 16:18

කොවිඩ් රෝගය පාලනය වගේම ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මහජනතාවට වැඩි වගකීමක් පැවරෙනවා


කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවන මෙම අවස්ථාවේ ඩෙංගු රෝගය ද ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවත් මහජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් තම පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝ නොවන ආකාරයට පිරිසිදුව තබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේන්ද්‍ර ආර්නෝල්ඩ් මහතා පවසයි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම කොරෝනා වසංගතය පාලනය කිරීම හා සමාන වගකීමක් බවත් ඒ් සඳහා මහජනාව උනන්දු විය යුතු බවත් වෛද්‍ය මහේන්ද්‍ර ආර්නෝල්ඩ් මහතා ප්‍රකාශ කළේ, " ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළීබඳ ජනාව දැනුවත් කිරීම " සඳහා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

නිවාස පරිශ්‍ර මෙන්ම කාර්යාල පරිශ්‍ර සෑම විටම පිරිසිදුව පවත්වා ගත යුතු බවත් ධීවර වරාය පරිශ්‍රවල සහ ඉදිකිරීම් පරිශ්‍රවල ‌ඩෙංගු ව්‍යාප්තිය ඉහළ බව නිරීක්ෂණය වී ඇති බව පවසන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් මහජනතාව විසින් යොමුකළ යුතු බව අවධාරණය කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යබහුලව කටයුතු කරන බැවින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්ට නිරන්තර අවධානයෙන් සිටීමට වන අපහසුතාවය සැළකිල්ලට ගෙන ජනතාව විසින් ඩෙංගු මර්දනය සඳහා කැපවීමක් කළ යුතු බවත් ඒ් මහතා පෙන්වා දෙයි.

පසුගිය වසරේ ජුලි මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගී සංඛ්‍යාව 2165ක් බවත් මෙම වසරේ ජුලි මස අවසන රෝගී සංඛ්‍යාව 3292ක් බවත් මෙම වසරේ මේ වන විට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගී සංඛ්‍යාව 17134ක් වන බවත් එය සමස්තයක් ලෙස සියයට 68ක් බවද වෛද්‍යවරු පෙන්වා දෙති.මේ අතරින් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩි ව්‍යාප්තියක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසයි.

මේ වන විට රෝහල්වල ඩෙංගු රෝගය කළමනාකරණයට පුහුණුවලත් පිරිසක් යොදවා ඇති බවත් රෝගීන්ට රෝහල්ගතවී ප්‍රතිකාර ලැබීමට හැකි පරිසරයක් රෝහල්තුළ පවතින බවත් ප්‍රකාශ කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීමද නිසි ක්‍රමවේදයකට සිදු කළ යුතු බවත් ඉන් ඩෙංගු ව්‍යාප්තිය අවම කරගත හැකි බවත් ප්‍රකාශ කළාය.