Thursday, 16 May 2024

කුරුණෑගල දී ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරයි

Posted On Friday, 30 July 2021 15:39

කුරුණෑගල දී ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 ජූලි 27 වැනි දින විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය අතථ්‍ය ලෙස විවෘත කළේය.

මෙම සමාරම්භක උත්සවය සඳහා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සහ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙක් එක් වූහ.

කුරුණෑගල පිහිටි මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය මඟින්, වයඹ පළාතේ සහ අසල්වැසි ප්‍රදේශවල මහජනතාවට විදේශීය භාවිතය සඳහා උප්පැන්න, විවාහ සහ මරණ සහතික මෙන්ම අධ්‍යාපන සහතික යනාදිය සහතික කිරීම; අපනයන ලේඛන සහ අදාළ සහතික සත්‍යාපනය කිරීම; විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ සාමාජිකයින්ට සහාය වීම; බලපෑමට ලක් වූ සංක්‍රමණික ශ්‍රමිකයින්ට වන්දි ඉල්ලීම් සහ වෙනත් ආකාරයේ සහන ලබාගැනීම පිණිස ලේඛන සැකසීම සහ මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ දේහයන් විදේශයන්ගෙන් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි කොන්සියුලර් සේවාවන් සපයනු ඇත.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ, රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, මහජනයාට ලබා දෙන කොන්සියුලර් සේවාවන්හි ඵලදායිතාව සහ ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය 2020 ජනවාරි මස සිට දිවයින පුරා ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල ජාලයක් හරහා කොන්සියුලර් සේවා සැපයීම සඳහා අමාත්‍යාංශය විසින් විවෘත කරන ලද නවතම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය මෙය වන අතර, එමඟින් විශේෂයෙන් මෙම වසංගත කාල පරිච්ඡේදය තුළ දී මහජනතාවට කොළඹට ගමන් කිරීමකින් තොරව එවැනි සේවාවන් ලබා ගත හැකි වේ.

අනෙක් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මහනුවර, මාතර, යාපනය සහ ත්‍රිකුණාමලයේ පිහිටා ඇත.

කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයේ සම්බන්ධතා තොරතුරු;

3 වැනි මහල,

පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව,

අංක 2, දඹුල්ල පාර,

කුරුණෑගල.

දුරකථන: 037-2225931

ෆැක්ස්: 037-2225941

විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.