Thursday, 25 April 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කඩිනම් කෙරේ

Posted On Sunday, 18 July 2021 17:15

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කඩිනම් කෙරේ


ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් එන්නත්කරණ වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම එන්නත්කරන වැඩපිළිවෙළට අනුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් එන්නත්කරනය සඳහා සැලසුම් සකස් කර තිබේ.

ඒ යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පුද්ගලයින් 268300ක් හා රෝහල් හරහා පුද්ගලයින් 231,700කුත් එන්නත්කිරීම සඳහා අවශ්‍ය එන්නත් දිස්ත්‍රික්කය පුරා බෙදා හැර තිබේ.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සහ එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයක තවත් එන්නත්කරණ මද්‍යස්ථාන තුනක් බැගින් වන සේ එන්නත්කරන මධ්‍යස්ථාන පිහිටුවා එම ස්ථානවලදී ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ජනතාවට එන්නත ලබා දීම සඳහා පියවර ගෙන තිබේ.

මීට අමතරව රාගම මහ රෝහලදී දෛනිකව පුද්ගලයින් 1000ක්, වැලිසර රෝහලේදී දෛනිකව පුද්ගලයින් 1500ක් හා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී දෛනිකව පුද්ගලයින් 5000ක් බැගින් එන්නත් කිරීම සිදුවන අතර එම රෝහල් මගින් සතියක් ඇතුළත පුද්ගලයින් 35000ට වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීම අපේක්ෂාවයි.
දිස්ත්‍රික්කයේ වැඩිහිටියන්ට එන්නත ලබාදීම සඳහා අන්තර්ජාලය හරහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මකය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා සේවකයින් එන්නත්කරනය කිරීමේ වැඩපිළිවෙළක් ද මේ යටතේ ක්‍රියාත්මක වන අතර ඒ යටතේ කටුනායක ආයෝජන කළාපයේ සේවකයින් 22700ක්, බියගම ආයෝජන කළාපයේ සේවකයින් 140190ක් හා මීරිගම ආයෝජන කළාපයේ සේවකයින් 2313ක් එන්නත්කරනය කර තිබේ.
තවත් ආයෝජන කළාප වෙළෙඳ සේවකයින් 30710ක් එන්නත් කිරීමට නියමිතව තිබේ.

දිස්ත්‍රික්කය තුළ ඇති ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා ආශ්‍රිත තවත් සේවකයින් 54000ක් පමණ සිටින අතර ඔවුන් අතරින් 7584ක් එන්නත් කිරීමට පියවර ගෙන ඇත.
අවුරුදු 30ට වැඩි පුද්ගලයින් හා කර්මාන්තශාලාවල සේවය කරන අවුරුදු 18ට වැඩි පුද්ගලයින් එන්නත්කරනය සඳහා මූලිකත්වය දෙමින් ගෙන යන ගම්පහ දිස්ත්‍රික් එන්නත්කරන වැඩපිළිවෙළ යටතේ මේ වන විට පුද්ගලයින් 758223ට ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ් එන්නත හා සයිනොෆාම් එන්නත ලබාදී ඇත. ඔවුන් අතරින් පුද්ගලයින් 284429ට එම එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී ඇත.
එන්නත්කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරන ආකාරය සම්බන්ධයෙන් ලැබී ඇති දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 58ක් හා අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 44.96කට එන්නත ලබා දී අවසන්ය.
සෞඛ්‍ය අංශ වාර්තා අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 56060ක් වාර්තා වී ඇත. මේ අතරින් බියගම, මහර හා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලින් රෝගීන් 5000ට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.