Thursday, 25 April 2024

කොළඹ පානීය ජල සේවාව ශක්තිමත් වේ- ඉදිරි ජලය ඇනහිටීම් 75% කින් අඩුවේ

Posted On Thursday, 15 July 2021 16:09

කොළඹ පානීය ජල සේවාව ශක්තිමත් වේ- ඉදිරි ජලය ඇනහිටීම් 75% කින් අඩුවේ


කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශයන් හි ජනතාව‍ගේ පානීය ජල සැපයුමේ සුවිශේෂි පියවරක් පසුගිය ඉරිදා වන විට නිමාවට පත්කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමත් විය.

අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බල ශක්ති සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම කඩිනම් වැඩපිළිවෙල මඟින් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල පැවති නිරන්තර ජල කප්පාදුව 90% කින් පමණ අවම වන අතර වැඩි ධාරිතාවයකින් යුක්තව පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම මේ යටතේ සිදුකෙරේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස් මත වඩා ප්‍රමුඛතාවක් ලබාදී රුපියල් මිලියන 100 ක පමණ මුදලක් වැයකර මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අඹතලේ ජල සම්පාදන පද්ධති වැඩිදියුණු කිරීම සහ බල ශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු වී.ජී.යූ. රංජීත් මහතා,

“දැනට කොළඹට ජලය සපයන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන්. දිනකට ඝන මීටර් පන්ලක්ෂ පනස් දහසක් සපයනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා කැළණිය දකුණ ඉවුරේ තියෙන බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය ඝන මීටර් පනස් දහසක් මෙම අඹතලේ ජල පවිත්‍රාගාරය හරහා කොළඹට සපයන්න. එමඟින් කොළඹට සැපයෙන ජල ධාරිතාවය වැඩිවෙනවා. ඒ නිසා ජල පීඩනය තත්ත්වය අඩුවෙලා එහි සේවා තත්ත්වය උසස් වෙනවා. ඒ වගේම අපි බලාපොරෙත්තු වෙනවා මෙමඟින් අඹතලේ යම්කිසි වැඩිදියුණු කටයුත්තක් සිදුකරන වෙලාවක අපිට අඹතලේ නිෂ්පාදනය කරන ධාරිතාවය අඩුකරගන්න සිදුවුනොත් ඒ සඳහා මෙම අලුතෙන්ම අද සිදුකරන වැඩිදියුණු කටයුත්ත මඟින් බියගම ජල පවිත්‍රාගාරයෙන් යම්කිසි ප්‍රමාණයක් ජලය ලබාගෙන පාරිභෝගික ජනතාවට වෙන අපහසුතාවය අවම කරදීමට. මෙයයි අපි බලාපොරොත්තු වන්නේ".

එසේම මෙම ව්‍යාපෘතිය හරහා අපි මූලිකවම කොළඹට සපයන ජලය සඳහා පොම්ප කිරීමට වැයවන විදුලිය පිරිවැය ද අවම කරගැනීමට කටයුතු කරනවා. ඒ අනුව විදුලි පිරිවැය 15% ත් 18% ත් අතර ප්‍රමාණයකට අඩුකර ගැනීමට අපි මෙම ව්‍යාපෘතියෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙතන තියෙන ගොඩක් ජල පොම්ප අවුරුදු 30 කට වඩා පැරණි. ඒවායේ කාර්යක්ෂමතාවය ඉතාමත්ම අඩුයි. ඒ වගේම ඒවට අවශ්‍ය අමතර කොටස් දැනට හොයගන්නත් නෑ. ඒ නිසා තමයි මෙම පොම්ප වෙනුවට අලුතෙන් පොම්ප යොදලා කාර්යක්ෂමතාවයෙන් වැඩිකර අපි ඉතාමත්ම උසස් මට්ටමේ සේවයක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව කොළඹට ජලය ගෙන යන ජල නල අවුරුදු සීයයකට වඩා පැරණි. එම නිසා බොහෝ අවස්ථා වල මාර්ගය දෙපස ජල කාන්දු ඇතිවෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේ ව්‍යාපෘතිය අවසන් කලාට පස්සේ එම ජල කාන්දුව ඇති වීම අඩුවෙලා කොළඹට ජලය ගෙනෙන ජල නල පද්ධතියේ කාර්යක්ෂමතාවයත් වැඩිකිරීමට අපිට හැකිවන බවයි. දැනට අපේ ව්‍යාපෘතියේ 44% ක් විතර වැඩ අවසානයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුල මෙම වැඩ කටයුතු සියල්ල නිමාවට පත්කිරීමට.''

මෙහි දී අදහස් දැක් වූ අඹතලේ ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්,

මෙම අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බල ශක්ති සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රජයේ පුම්‍රඛතම සංවර්ධන ක්‍රියාවලිය වන පොර්ට් සිටි නගර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය ලබාදීමත් අප විසින් සිදුකරනු ලබනවා. මෙය 100% ක් දේශීය වශයෙන් අප මණ්ඩලයෙන් සිදුකරනු ලබන සුවිශේෂි ක්‍රියාවලියක් බව විශේෂයෙන් සඳහන් කල යුතුයි. ඊට අමතරව මේ අඹතලේ ජල පවිත්‍රාගාරය තුල වැඩිදියුණු කිරීම් රාශියක් අපි මෙම ව්‍යාපෘතිය හරහා සිදුකර කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වඩා උසස් සේවයක් ලබාදීම අපගේ පරමාර්ථයයි.