Friday, 19 April 2024

විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සඳහා එන්නත්කරණය ඇරඹේ

Posted On Friday, 09 July 2021 16:00

විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සඳහා එන්නත්කරණය ඇරඹේ


• අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්-
• සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කිරීම කඩිනමින්-
තාක්ෂණික හා අනෙකුත් කරුණු සොයා බලා තීන්දු ගන්නවා. -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද ( 09) දින ආරම්භ විය.

මේ මස 12වැනි සඳුදා සිට සියලු ම ගුරුවරුන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත ය. එසේ ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පළමු පියවර ලෙස දරුවන් 100ට අඩු පාසල් 2962ක් අගෝස්තු මාසයේ දී පමණ ආරම්භ කිරීමට හැකි වෙතැ යි විශ්වාස කෙරේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධ ව මත දෙකක් ඇති බවත් තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගතයුතු බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

ප්‍රථම වතාවට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක ප්‍රමාණයක් සිටිති. දෙවන වතාවට පෙනී සිටින දරුවන් සිටින්නේ 150000ක් පමණ ය. මෙයින් ප්‍රථම වතාවට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ විෂය මාලා සම්පූර්ණ කිරීමට අපහසු වී තිබෙන බැවින් විභාගය කල් දැමීම යෝග්‍ය බව ය. නමුත් දෙවන වරට විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලීම වන්නේ ඔක්තෝම්බර් මාසයේ ම ප්‍රමාදයකින් තොර ව විභාගය පැවැත්වීමට ය. මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමට සිදු වී තිබේ. මෙහිදී විභාග දෙපාර්තමේන්තුවට විශාල බරක් සහ කාර්යභාර්යයක් පැවරේ. ආරම්භක පියවර වශයෙන් අද දින ‍විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට එන්නත් කරනු ලැබී ය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම යි. ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇති වී තිබෙන්නේ එබැවිනි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622000ක් සිසුන්ගෙන් 169000ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා තිබේ. ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරු ව ප්‍රතිපල නිකුත් කිරීමක් සිදු කරන්නේ ද යන ගැටලුව දැනට අප හමුවේ පවතී. පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිපලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කෙරේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් විභාගය සම්බන්ධයෙන් ද එවැනි ගැටලු පැන නැඟී ඇත. ඔවුන් ද ඉතා ‍ප්‍රායෝගික ව සහ නම්‍යශීලී අයුරින් තීරණයන්ට එළඹී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යහංශයට එන්නත් ලබාදීම අතිශයින් ම ප්‍රමුඛ කාර්යයක් බවට පත් වේ.

මෙම එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් සියලු ම අංශවලට සිය කෘතඥතාවය පළකරන බව ද අමාත්‍යවරයා පැවසී ය.