Saturday, 27 April 2024

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගැන හදිසි සාකච්ඡාවක්

Posted On Friday, 18 June 2021 16:20

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගැන හදිසි සාකච්ඡාවක්


දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමුවරට හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට ඒ පිළිබදව අද (18) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් -19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී එම වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව,
- එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදුකිරීමටත්,
- ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු පුද්ගලයින් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්,
- දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු   පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදන ලෙසටත් තීරණය කර තිබේ.

එම පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය සියලුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.