Friday, 03 May 2024

අයහපත් කාලගුණය ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම්දෙයි

Posted On Thursday, 03 June 2021 16:31

අයහපත් කාලගුණය ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම්දෙයි


නිරිතදිග මෝසම සක්‍රීයව පැවතීම හේතුවෙන් අද (03) දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරුවෙන් අවසන් වූ ගතවු පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙනි. එය මිලිමීටර් 215 ක් ලෙස සදහන් වේ.

කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කුකුලේ ගඟ බුලත්සිංහල ප්‍රදේශයෙන් පිටාර ගැලීමට ලක්ව තිබේ.
මේ හේතුවෙන් බුලත්සිංහල - මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන තුනකින් ජලයෙන් යටවී තිබේ.

අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 06කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ දිස්ත්‍රීක්ක වේ.

පොළවේ ඇතිවන ඉරිතැලීම්, නිවෙස්වල ඇතිවන ඉරිතැලීම්, ආගන්තුක දිය උල්පත් ඇතිවීම් සහ සිඳීයෑම් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අනුව ජනතාවට අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා 117 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.