Friday, 17 May 2024

මැයි 12 වැනිදා සිට මැයි 31 වනදා දක්වා දිවයින පුරා සංචරණ සීමා- පුද්ගලික ගමන් සපුරා තහනම්

Posted On Wednesday, 12 May 2021 16:24

මැයි 12 වැනිදා සිට මැයි 31 වනදා දක්වා දිවයින පුරා සංචරණ සීමා- පුද්ගලික ගමන් සපුරා තහනම්

 

මැයි 12 වැනිදා සිට මැයි 31 වනදා දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇති බවත්, ඒ අනුව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ රථ වාහන ගමනාගමනය සීමා වන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

රජය විසින් පනවන ලද නව සංචරණ සීමා හා නිරෝධායන නියෝග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට පොලිස් මූලස්ථානයේදී අද(12) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය. කෙසේ වෙතත් මෙම සංචරණ සීමා අත්‍යවශ්‍ය කටයුතු සඳහා කිසිඳු බලපෑමක් නොකරන බවත්, ඒ අනුව ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය, ඒ ඒ පළාත්වල තිබෙන රාත්‍රී මගී ප්‍රවාහන සේවා වැනි සේවාවන්ට ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙන බවත්, ඒ හැරුණු කොට වෙනත් ගමන් බිමන් සඳහා හැකියාවක් නොමැති බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව කුලී රථ හෝ වෙන යම් ආකාරයකින් කෙරෙන පුද්ගලික ගමන් සපුරා තහනම් බවත්, එමෙන්ම පුද්ගල සංචරණ මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම සීමා වන බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. මෙම සංචරණ සීමා සමස්ත දිවයිනේ සෑම පළාතක් තුළම සිදු කෙරෙන බවත්, එසේ වුවද රෝගී තත්වයන් හේතුවෙන් රෝහල් ගතවීම, ගැබිණි මව්වරුන් නම්, හෘද රෝගියකු නම් මෙම සීමා බලනොපාන නමුත් අනෙක් සියලු දෙනාට මෙම සීමා ඒ ආකාරයටම බලපැවැත්වෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව දී ඇති කාලය තුළ ප්‍රධාන මාර්ගවල අතුරු මාර්ගවල සංචරණය සීමා වන බවත්, එම නීති යම් අයකු කඩකරන්නේ නම් නිරෝධායන නීතියට පටහැනිව කරන ලද ක්‍රියාවක් සේ සළකා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.