Tuesday, 16 April 2024

අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Posted On Friday, 07 May 2021 15:51

අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

 

අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැසීය.

2014 වර්ෂය වනවිට සැළසුම් අවසන් කර තිබූ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය රජය විසින් සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබිණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ වූ අතර ඒ අනුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24ක කොටසේ ඉදිකිරීම් ඇරඹිණි. දෙවැනි හා තෙවැනි අදියරේ දී රත්නපුරය සහ පැල්මඩුල්ල දක්වා මෙම අධිවේගී මාර්ගය දිගුවනු ඇත.

රුවන්පුර අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය, සැළසුම සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම් මුළුමනින්ම දේශීය ඉංජිනේරුවන්, ආයතන සහ සමාගම් අතින් සිදුවීම විශේෂත්වයකි. අධිවේගී මාර්ගය ඉදිකිරීම ඔස්සේ මාර්ග තදබදය අඩුවීම,පිරිවැය අඩුවීම,කාලය ඉතිරිවීම, තේ, ඇඟලුම්, සුළු අපනයන බෝග හා මැණික් වෙළඳපොළ සහ සැපයුම් ස්ථානවලට පිවිසුම පහසුවීම, සංචාරක කර්මාන්තය ඇතුළු ආයෝජන අවස්ථා පුළුල් වීම සහ නව රැකියා බිහිවීම ඇතුළු අපේක්ෂිත ප්‍රතිඵල රැසකි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
සබරගමුව පළාතේ ජනතාවට ඉතා සමීප රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට එක්වන්නේ ඉතාම සතුටින්. අපි මේ ආරම්භ කරන්නෙ ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය. එදා මට මතකයි අධිවේගී මාර්ග හදන්න පටන් ගනිපු මුල් කාලයේ ඉඳන් සබරගමුවේ අපේ ආදරණීය ජනතාව රත්නපුරේට අධිවේගී මාර්ගයක් හදන්නෙ කවදා ද කියලා අපෙන් ඇහුවා. ඒ අය ගැන අවධානය යොමු කරලා, රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න අපි සැළසුම් කරලා තිබුණෙ මං හිතන්නේ 2014 වර්ෂයේ දි. එදා අපි ඒ වෙනුවෙන් සියලු සැලසුම් සකස් කරලා අවසන් කරලා තිබුණේ. එහෙත් ඊට ආරම්භයක් ගන්න කලින් මැතිවරණය පරාජය වෙලා අපට ගෙදර යන්න වුණා. හැබැයි, අපි හිතුවා බලයට ආපු ඒ ආණ්ඩුව රටේ සංවර්ධනය අපි නවත්වපු තැනින් පටන් ගනියි කියලා. ඒ අයට තිබුණෙ බලය උදුර ගැනීමේ උවමනාවක් මිස රට සංවර්ධනය කිරීමේ උවමනාවක් තිබුණේ නෑ. ඒ නිසා අපි පටන් අරගෙන තිබුණ හැමදේම පහුගිය ආණ්ඩුවෙන් නතර කළා. ඒ විතරක් නෙමෙයි ඒ දේවල්වලට අපෙන් පළිගැනීම් කළා. අධිකරණය ඉදිරියට කොමිෂන් ඉදිරියට අපිව අරන් ගියා. අපි ආපහු භාරගත්තෙ ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් බිංදුවට දාලා සංවර්ධනය නැවතිලා තිබුණ රටක්. නමුත් අපි මේ අභියෝගය ඉතාම සතුටින් භාරගත්තා. අපට අවශ්‍යවුණේ හැමදාමත් මේ රටටත් ජනතාවටත් හොඳම දේ දෙන්න. රට දියුණු කරන්න. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න. ඒ නිසා මොනතරම් බාධක ආවත්, කොතරම් දුෂ්කරතා හමුවේ වුවත් අපි රජයක් විධියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යථාර්ථයක් වනතුරු ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා කියන එක ඔබ දන්නවා. අද ආරම්භවන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා පළමු අදියරය වසර දෙකහමාරක් ඇතුළත අවසන් කරනවා කියලා අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමත් අමාත්‍යංශයේ ලේකම්තුමාත් මා සමඟ කිව්වා.
ඔවුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා.
මේ මාර්ගයේ කිලෝ මීටර් 24 ක් වන පළමු කොටස සඳහා රජය දේශීය අරමුදල් රුපියල් බිලියන 54.7 ක් වැයකරනවා. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නෙත් දේශීය සමාගමක්.
පළමු අදියරේ කටයුතු අවසන් වූ වහාම දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුරයටත්, තුන්වැනි අදියරේ දී රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්වාත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
අධිවේගී මාර්ග තමයි මේ රටේ වැඩියෙන්ම විවේචනය වූ ව්‍යාපෘතිය. හැබැයි විවේචනය කරපු උදවියම අද අධිවේගී මාර්ගවල සුව පහසුව විඳිමින් එහාට මෙහාට යනවා. අපට ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්භරයක්. මොකද ඒ අධිවේගී මාර්ගයෙම ගිහිං ඒ අධිවේගී මාර්ගයෙම ආවා.
මේ මොහොත වනවිටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙනවා. මීරිගම සිට පොතුහැර දක්වා කොටස ළගඳීම ජනතා අයිතියට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.ඒ වගේම පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසත් මග නැගුමෙන් වැඩ ආරම්භ කරලා තියෙනවා.
2006 වර්ෂයේ දි ලංකාවේ පළමුවැනි අධිවේගී මාර්ගය විධියට දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි මුල පුරන්නෙ රටේ යුද්ධයක් තියාගෙන. අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රට පමණක් නෙමෙයි මුළු ලෝකයම කොව්ඩ් වසංගතයෙන් වෙලා ගත් අභියෝගාත්මක අවස්ථාවක.
ඔබ දන්නවා කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට රජයක් විධියට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.

ඒ වගේම දුෂ්කරතා හමුවේ වුවත් රට සංවර්ධනය කිරීමේ මාවතෙන් අපි බැහැරවෙලා නැහැ බැහැර වෙන්නෙත් නැහැ.
යහපත් මාර්ග පද්ධතියක් කියන්නෙ රටක දියුණුව මනින සාධකයක් කියලයි මම විශ්වාස කරන්නේ. මහින්ද චින්තනනයේ වගේම සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඒ ගැන පැහැදිළිව පෙන්වලා තියෙනවා.
මේ වන විට මුළු ලෝකයම කොවිඩ් වසංගයට එරෙහිව සටන් කරනවා. කොවිඩ් කියල අපිට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. වෛරසයට එරෙහිව සටන් කරන ගමන් රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ගැනත් අපි හිතන්න ඕන. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපිට මේ තත්ත්වය පාලනය කිරීම එතරම් අපහසු වන්නේ නැහැ කියන එක ඔබ දන්නවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැම විටම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින්න.
අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම අතිගරු ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය කඩිනම් කරන්න හැම මොහොතෙම උපදෙස් දුන්නා. අපි අභියෝග ගණනාවකට මුහුණ දෙන පිරිසක්. විපක්ෂය දකින්නෙ ලංකාවට විතරක් කොවිඩ් හැදිලා කියලා. නැතිනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නිසා ලංකාවට කොවිඩ් හැදිලා වගෙයි පෙන්වන්නෙ.
මේ විධියට මොන අභියෝග ආවත් අපේ රටේ සංවර්ධනය අපි ආපස්සට ගන්නෙ නැහැ. එක දවසක් අපි නවතිනවා කියන්නෙ අපි එක දවසකින් ආපස්සට යනවා. මහින්ද ජනාධිපතිතුමා යටතේ යුද්ධය අවසන් කරලා එදා වැඩ බිමක් වෙලා තිබුණ රට පහුගිය ආණ්ඩුව මුඩු බිමක් කළා. අපි මේ නැවත උත්සාහ කරන්නෙ ඒ මුඩු බිම නැවත වැඩ බිමක් බවට පත්කරන්න.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාම අපේ හිතට දැණුනා අපි ආරක්ෂිතයි කියලා. අපේ ජනාධිපතිතුමා වගේම අග්‍රාමාත්‍යතුමා දක්ෂ ලෙස මේ රට මෙහෙයවලා ආර්ථිකය නැවත ස්ථාවර කරගෙන තිබෙනවා. ජනතාව එදා අපේ ජනාධිපතිතුමා වගේම අග්‍රාමාත්‍යතුමා කෙරෙහි තැබූ විශ්වාසය පළුදුවෙන කිසි වැඩක් මේ රජය කරන්නෙ නැහැ.
මේ අධිවේගී මාර්ගය රත්නපුර ජනතාවට පමණක් නෙමෙයි මුළු රටටම වැදගත් වෙනවා. අග්‍රාමාත්‍යතුමා නිතරම මහනුවර අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කරන්නැයි අපට උපදෙස් දෙනවා. දළදා මාළිගාව වඳින්න යන බැතිමතුන්ට පහසුවක් කරන්න කියලා කියනවා. ඒ කටයුතු අපි කඩිනමින් ඉටු කරමින් යනවා.
පහුගිය ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙ ඉදිකිරීම් එක කොටසක් ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකුටම දුන්නා. එතුමාලා හෙලිකොප්ටර් අරගත්තා. ඒ හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් ගිය අය අද අපට චෝදනා කරනවා. හැබැයි අධිවේගී මාර්ග කොටසේ වැඩ අවසන් කළේ නැහැ. අධිවේගී මාර්ගවල එදා රත්තරන්ද අතුරුන්නෙ කියලා අහපු අය කළේ පිටත වටරවුම් මාර්ගයේ මන්තීරු දෙකක් අඩු කරලා, අපේ ඇස්තමේන්තුවටම කොන්ත්‍රාත්තුව භාර දීලා එකෙනුත් ගසා කාපු එක විතරක් යැයි ඇමතිවරයා කීවේය.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා
අද රත්නපුර ජනතාවට විශේෂ දවසක්. වසර ගණනක් බලන් හිටපු රුවන් පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ වුණා.
විපක්ෂ නායකතුමා කොවිඩ්වලට සියලු මුදල් වෙන් කරන්න කියලා පසුගියදා ප්‍රකාශ කළා. නමුත් එක් විෂයකට වෙන් කළ මුදල් වෙනත් විෂයකට යොදවන්න බැහැ කියන කාරණය වත් එතුමා නොදැන සිටීම ගැන කනගාටු වෙනවා.
සෞභාග්‍යයේ දැක්ම මගින් ජනතාවට ලබාදුන් ඒ සියලු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකරන්න අප සියලු ක්‍රියා මාර්ග ගන්නවා.
මේ පටන්ගත්ත මාර්ගය පැල්මඩුල්ල දක්වා 2024 වෙනකොට ඉවරකරන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා යැයි රාජ්‍ය අමාත්‍යතුමා පැවසීය.

මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතා
පැල්මඩුල්ල දක්වා ඉදිකිරීම් වර්ථමාන රජයේ කාල සීමාව තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම මාර්ගය ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යනය කරනු ලැබුවේ දේශීය සමාගමක් විසින්. සැළසුම් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ සැළසුම් ඉංජිනේරුවන්. මෙහි ඉදිකිරීම් කරන්නෙ ලංකාවේ විශාලතම ඉදිකිරීම් ආයතනයක් වන මාගා ආයතනය. එසේම එහි අධික්ෂණ කටයුතු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මහින්ද චින්තනය යටතේ මේ රටේ අධිවේගී මාර්ගවල නියමුවා වුණේ. අපටත් ඒ නිසා එහි කාර්යය භාරය ඉටු කරන්න හැකියාව ලැබුණා යැයි හෙතම කියා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, නිමල් ලාන්සා, ජයන්ත සමරවීර, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජෝන් සෙනවිරත්න,සංජීව එදිරිමාන්න, ගාමිණී වලේබොඩ, අනූප පැස්කුවල්, මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා, ලලිත් එල්ලාවල, ගයාශාන් නවනන්දන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මහ මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහත්වරු සහ අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.