Tuesday, 14 May 2024

මහවැලි ඉඩම්, අනවසරයෙන් අත්පත් කරගැනීමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග

Posted On Thursday, 29 April 2021 05:57

මහවැලි ඉඩම්, අනවසරයෙන් අත්පත් කරගැනීමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග

 

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බල ප්‍රදේශයන්හි පිහිටි රජයේ ඉඩම්, අනවසරයෙන් අත්පත් කරගැනීමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම මහතා අවධාරණය කරයි.

මහවැලි කලාප දහයට අයත් සියළු නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් වෙත, ලිඛිත උපදෙස් නිකුත් කරමින් අධ්‍යක්ෂ ජනරාල් වරයා දැනුම් දී ඇත්තේ මහවැලි කලාප වල, අනවසර ඉඩම් අත්පත් කරගැනීම් වළක්වා ගැනීමට 1979 අංක 07 දරණ රජයේ ඉඩම් පනත යටතේ පවතින, නීති ප්‍රතිපාදන අනුව කඩිනම් ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් වලට එරෙහිව නෛතික ප්‍රතිපාදන තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම ගැටළුවක් බව පෙන්වා දෙන කීර්ති කොටගම මහතා මින් ඉදිරියට එවැනි අක්‍රමිකතා හෝ අතපසුවීම් වලට අවකාශය නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

මහවැලි කලාප වල ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීම් සම්බන්ධයෙන් තමන්ට, පැමිණිලි ලැබී ඇතිබවත් එම තත්ත්වය හමුවේ මහවැලි කලාපවල සියළු නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්, කොට්ඨාස කළමනාකරුවන්, ඒකක කළමනාකරුවන් වෙත මේ සම්බන්ධයෙන් දැනටමත් උපදෙස් නිකුත් කර තිබේ.

දැනට මහවැලි කලාප වල අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද යන්න දෙසතියකට වරක් තමාට වාර්තා කරන ලෙස ද, අධ්‍යක්ෂ ජනරාල් වරයා මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරුවන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.