Friday, 29 March 2024

දෙවන මාත්‍රාව ලබා දීම මැයි පළවනදා සිට ආරම්භ කරනවා- රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

Posted On Tuesday, 20 April 2021 08:58

දෙවන මාත්‍රාව ලබා දීම මැයි පළවනදා සිට ආරම්භ කරනවා- රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි පළවනදා සිට ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන, දෙවන මාත්‍රාව වශයෙන් චීන සිනොෆාම් එන්නත ලබා දීම සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

තවද පළමු එන්නත වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දුන්නේ නම් දෙවන එන්නත ද ඇස්ට්‍රා සෙනිකා එන්නත ම ලබා දිය යුතු බවට දැනට නිර්දේශ වී ඇති බවත් ඒ අනුව රජය කටයුතු කරන බවද අමාත්‍යවරිය අවධාරණය කළාය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ,ජනවාරි මස 29 ලබා දුන් බවත්, පළමු මාත්‍රාව ලබා දෙන විට සති 04ක් තුළ දෙවන මාත්‍රාව ලබා දීමට නිර්දේශ වී තිබුණ ද නව විද්‍යාත්මක දත්ත අනුව සති 12 කින් ලබා දීම වඩාත් සුදුසු බව නිර්දේශ වී ඇති බවත්, ඒ අනුව දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් 29 දිනට යෙදී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරිය, ඒ අනුව මැයි පළවනදා සිට දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළාය.