Friday, 26 April 2024

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය අද සිට තහනම්

Posted On Wednesday, 31 March 2021 16:51

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය අද සිට තහනම්

 

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 05ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය අද සිට (31) තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) , හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව ඉකුත් ( 29) දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත සඳහන් කළ ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම අද සිට (31) තහනම් කර ඇතිබවයි.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති ඇති අදාල නිෂෟපාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බව කී අමාත්‍යවරයා මෙම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අවධාරණය කළේය. මෙම සමාගම් මුළුමනින්ම දේශීය සමාගම් වන අතර ඇතැම් කර්මාන්තකරුවන් විසින් මෙම තහනම පැනවෙන බව දැන සිටියත් නව උපකරණ පවා ආනයනය කර සවිකර ඇති බවත් සඳහන් කළේය.

කෙසේ වුවද එසේ කරන ලද එක් සමාගමක අලුතින් ‍ගෙන්වන ලද උපකරණ නැවතත් ආනයනය කළ රටට ම යැවීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කීය.මෙම සමාගම් විසින් අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කර තිබෙන්නේ ඩොලර් වැය කරමිනි. එමනිසා ආනයනය කරන ලද අමුද්‍රව්‍යවලින් දැනට නිපදවා ඇති ද්‍රව්‍ය පමණක් අලෙවි කර ගැනීමට සීමිත සහන කාලයක් ලබා දෙනු ලැබේ.

එසේ වුවද හෙට සිට මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම තහනම් කෙරෙන අතර දැනට වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති ඉහත සඳහන් කළ ද්‍රව්‍ය ඒවා අවසන් වන තෙක් අලෙවි කිරීමට පිළීවන. එවැනි වෙළෙඳසැල් පරීක්ෂාවක් සිදු නොකෙරේ. නමුත් ඒවා මෙරට භාවිතය සඳහා නිපදවන්නේ ද යන්න පිළිබඳව වරින් වර නිෂ්පාදන කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීමක් සිදු කිරීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතය.

දිනපතා එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍යවලින් සියයට 5.9 ක් පොලිතීන් හා ප්ලාස්ටික් වේ. එමෙන් අප රට තුළ දිනකට ප්ලාස්ටික් හා පොලිතීන් ටොන් 400ක් පමණ එකතු කරනු ලබයි. PET බෝතල් භාවිතය මාසයකට ටොන් 1,250ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. ඉන් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ ටොන් 250ක් පමණි. අප රටේ සමස්ත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය දෙස බලන විට සමස්ත ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 15-20ත් අතර ප්‍රමාණයකි.

දිනකට දහනය කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 232කි. මෙරටට ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ටොන් ලක්ෂ 03ක් ආනයනය කරනු ලබන අතර නිමි භාණ්ඩ ද විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. ආනයනය කරන ලද ප්ලාස්ටික්වලින් සකසන ලද නිමි භාණ්ඩ වශයෙන් නැවත සියයට 30ක් පමණ අපනයනය කරනු ලැබේ. සමස්ත ආනයනයෙන් සියයට 24ක් පමණ ප්‍රතිචක්‍රියකරණය කරනු ලබයි.

කෙසේ වුවද මෙමගින් සිදුවන පාරිසරික හා සෞඛ්‍ය ගැටළු අවධානයට යොමු කරමින් වත්මන් රජය විසින් මේ සම්බන්ධව පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

 

ලැබීම පමණක් නොව අමාත්‍යවරයා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේද ප්ලාස්ටික් හා පොලිතීන් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම තහනම් කිරිමට පියවර ගන්නා බවයි.