Saturday, 04 May 2024

සාකච්ඡා සාර්ථකයි- දීපව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි- ලිසිං ගැටළු වලට විසඳුම්

Posted On Monday, 08 February 2021 16:10

සාකච්ඡා සාර්ථකයි- දීපව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි- ලිසිං ගැටළු වලට විසඳුම්

 

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ පෞද්ගලික බස් සංගම් අද(08) දින පැවති සාකච්ඡාව සාර්ථක වීමෙන් පසුව එම සංගම් විසින් දියත් කිරීමට තිබූ දීපව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවා ඇත.

අමාත්‍යවරයා හා බස් සංගම් අතර පැවති සාකච්ඡාවේදී පෞද්ගලික බස් සංගම් විසින් ඉදිරිපත් කළ ප්‍රධාන ගැටලුවක් වන ලීසිං පහසුකම සම්බන්ධයෙන් වන ගැටලුවට තවත් සතියක් තුළ විසඳුමක් ලබාදීමට අමාත්‍යවරයා හා බස් සංගම් අතර එකඟතාවයක් ඇතිවීමෙන් අනතුරුව බස් සංගම් මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යවරයා හා බස් සංගම් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ මොහොතේ ලීසිං සම්බන්ධ ගැටලුව බස් හිමියන්ට ප්‍රධාන ගැටලුවක් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ට විසඳුමක් ලබාදීමට හැකියාව ඇති බවත්ය.

පවත්නා තත්වය මත සමස්තයක් ලෙස රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය බිඳවැටීමකට ලක්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද තමන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කරමින් යන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පෞද්ගලික බස්රථ හිමියන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස්රථ වැඩ වර්ජනය සතියක් දක්වා කල් දැමූ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (08) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි. කෙසේවුවද, අද පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ මේ සම්බන්ධව පැවති සාකච්ඡාවේ දී පෞද්ගලික බස්රථ වල ලිසිං ගැටළු වලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඊට එකඟ වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.