Saturday, 27 April 2024

නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක්

Posted On Monday, 01 February 2021 14:26

නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක්

 

නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බවත් එය පෙබරවාරි 01 සිට නිදහස් දිනය පැවැත්වෙන දිනය වන පෙබරවාරි 04 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

73 වැනි නිදහස් දිනය සැමරීම සමබන්ධයෙන් වන වැඩපිළිවෙල පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය අවට හා නිදහස් මාවත අවට, නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල වටරවුම මෙන්ම ටොරින්ටන් දක්වා මෙම රථවාහන සීමා කිරීම් සිදු කිරීමට නියමිතය.
එසේ වුවත් ගාලු පාර, හයිලෙවල් පාර, නුවර පාර, මීගමුව දක්වා මාර්ගය මෙන්ම නුවර - කටුනායක අධිවේගී මාර්ග රථ වාහන ධාවන සීමා කිරීම්වලින් තොර බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම රථවාහන සීමා කිරීම් පෙරහුරු කාලය තුළ උදෑසන 06.00 සිට පස්වරු 01.00 දක්වා මෙම රථවාහන සැළැස්ම ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ නිදහස් චත්‍රරශ්‍රය අවට හා නිදහස් මාවත අවට සහ ටොරින්ටන් ආශ්‍රිත වාහන ගමනාගමනය සීමා වෙයි.

නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල වටරවුම හා නිදහස් මාවත යන ප්‍රදේශවලට පෙරහුරු කාලය තුළදී මෙන්ම නිදහස් දිනයේදීද වාහන ඇතුළුවීමක් සිදු නොවේ. නිදහස් දිනයේදී පෙරවරු 04.00 සිට පස්වරු 01.00 දක්වා කාලය තුළ මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මකයි.

සෑම ස්ථානයකම සංඥා පුවරු මෙන්ම රථවාහන සම්බන්ධ පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත්, මෙම රථවාහන නිලධාරීන්ට හා සංඥාවලට අවනත වෙමින් මෙන්ම විකල්ප මාර්ග භාවිතා කරමින් කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, නියෝජන්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම සීමාකිරීම් තුළින් එම ප්‍රදේශවල පවතින රාජ්‍ය ආයතනවලට, පෞද්ගලික ආයතනවලට මෙන්ම එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට කිසිඳු අවහිරයක් නොවන බවත්, කෙසේ වෙතත් තමතමන්ගේ ස්ථානවලට ගමන් කිරීමේදී රථවාහන පොලිස් නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව තටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම පෙබරවාරි 04 දින උදෑසන 04.00 සිට දහවල් 01.00 දක්වා කාලය අතරතුර නිවාඩු දිනයක් නිසා ආයතන නොපැවැත්වෙන නමුත් නිවෙස්වල පදිංචි පුද්ගලයන් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහැර නොවන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

ඒ සෑම අවස්ථාවකදීම පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පළිපදින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. නිදහස් දින පොලිස් රථවාහන සැළැස්ම සම්බන්ධයෙන් හෝ විකල්ප මාර්ග සම්බන්ධයෙන් දැනගැනීමට අවශ්‍යව නම් පොලිස් රථවාහන මූලස්ථානයට ඇමතුමක් ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. ඒ සඳහා 0112433333 යන දුරකථන අංකය භාවිතා කිරීමට හැකියාව ඇත.