Wednesday, 27 November 2024

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදිනය අදයි

Posted On Thursday, 17 September 2020 04:34

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදිනය සිහිකරනු වස් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන්ම සමරු උත්සවය අද දින (17) පෙරවරු 10 ට කොළඹ 10, මරදාන, විපුලසේන මාවතෙහි අංක 58 දරනමහාබෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

1864 වසරේ දෙසැම්බර් 17 වනදා දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල යන නමින් අනගාරික දිවියක් ගෙවා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලයන් බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමිකයෙකු ලෙසද කටයුතු කළ උත්තම චරිතයක් වශයෙන් කා අතරත් ප්‍රකට වෙයි.

ඔහු ක්‍රිස්තියානි මිෂනාරී බලපෑම් වලට එරෙහිව බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්යයභාරයක් ඉටු කළ අතර, ඉන්දියාවෙහි බුදු දහම ශතවර්ෂ ගණනාවක සිට බිදවැටී
තිබුණ සමයක බුදු දහම නැවත පුනර්ජීවනය කිරීමටද පුරෝගාමී විය. එමෙන්ම බුද්ධ ධර්මය, ආසියා, උතුරු ඇමරිකා සහ යුරෝපා මහාද්වීපය යන තුනෙහිම දේශනා කිරීමට මුල්වූ පළමු බෞද්ධයාද එතුමා වෙයි. වයස අවුරුදු 30 පමණ වන විට බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටි අතර ඔහු ලංකාව තුළ ඉස්පිරිතාලද, ඉන්දියාව තුළ පාසල් හා විහාරද ඉදිකිරීමට අවධානය යොමු කර සිටියේය.

මාතර හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකු වූ එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ගුණවර්ධන යන දෙමාපියන්ට දාව සිංහල ජාතිකයෙකු ලෙස උපත ලද ධර්මපාලයන් 1872 – 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලෙන්ද, 1874 – 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන්ද 1876 – 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් සහ 1878 – 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසු අධ්‍යාපන කාර්යංශයේ ලිපිකරුවෙකු වශයෙන් රාජ්‍ය සේවයට බැදුනේය.

අනගාරික ධර්මපාලතුමා ගවමස් කෑමට එරෙහිව නැගී සිටි අතරම ගම් නියම්ගම් පුරා මිනිසුන් දැනුවත් කරමින් ගියේය. සිංහලකම, බෞද්ධකම ගැන පමණක් නොව ජාතියක් වශයෙන් කෘෂි කර්මාන්තයට හිමිකර දිය යුතු වැදගත්කමද, දේශීය නව කර්මාන්ත බිහිකිරීම වැනි ආර්ථික කරුණුද, ආර්ථික දියුණුවත් සමග අප ලබාගත යුතු, රැකගත යුතු සිරිති විරිත් ඇතුව අපේකම පිළිබදවද එතුමා සිය අභීත හඩ අවදි කළේය.

සිංහල බෞද්ධයන් මත්පැන් බීම නොකළ යුතු දෙයක් බවට එතුමා දුටුවේය. එමෙන්ම රට, ජාතිය සහ ආගම පිළිබදව ඔහුගේ අපේක්ෂාවන් රැසක් විය. සිංහලයා සිංහයෙකු මෙන් නිර්භීත විය යුතුය.. හැම
සිංහලයෙකුම අවංක, දක්ෂ හා සමගි විය යුතුය.. සිංහලයා ජාතියට සහ ආගමට ඇල්මක් තිබිය යුතුය.. හැම සිංහලයෙකුම තම රටට, ජාතියට සහ ආගමට සේවය කළ යුතුය.. සිංහලයන් විදේශීය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළද නොගත යුතුය.. සිංහල නායකයන් නිතරම ආදර්ශමත් විය යුතුය.. යනුවෙන් ධර්මපාලයන් අපේක්ෂා කළ ඔහුගේ දැක්ම එදාට සේම අදටත් මනාව ගැලපෙයි. ඕල්කට්තුමන්ගේ සරසවි සදරැස පත්‍රයේ සියලු කටයුතු සිදුකරමින්, ඕල්කට්තුමා සමග බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමට වැඩ කරමින් සහ එතුමන් සමග ලක්දිව පුරා ඇවිදිමින් එතුමාගේ ඉංග්‍රීසි කථා සිංහලයට නැගූ ධර්මපාලතුමා බ්‍රහ්මචාරී වෙමින් මුළු දිවියම රට ජාතිය හා ආගම සදහා පරිත්‍යාග කළ අතර, සිංහල බෞද්ධයා සහ මහබෝධි නමින් ඉංග්‍රීසි පත්‍රයන්ද ඇරඹීය.

මේරි පෝස්ටර් නිදහස් ආයුර්වේද ආරෝග්‍ය ශාලාවක් කොළඹ පිහිටවූ අතර, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිහිටුවීම, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටුවීම, මහබෝධි නමින් ඉංග්‍රී සි විද්‍යාලයක් ඇරඹීම අනගාරික ධර්මපාලතුමන් විසින් මෙරටට සිදුකළ සුවිසල් මෙහෙවර අතර කැපී පෙනෙයි. සිංහලයන් අතර ඉංග්‍රීසි භාෂාව සදහා තිබූ හුඹස් බිය නැති කිරීමටද ඔහු දායක විය.
හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කළ දුන් අවවාදයක් අනූව, 1931 ජූලි 13 වන දින බෝරුග්ගමුවේ රේවත මහතෙරුන් වහන්සේ ආචාරිත්වයෙහි තබාගනිමින් සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් ධර්මපාලයන් පැවිදි දිවියට ඇතුළු විය. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුව කරගනු ලැබුවේ හෙයියන්තුඩුවේ හිමියන්ට කෘතගුණ සැලකීමටය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට උන්වහන්සේගේ පරණ සිවුරක් ධර්මපාලතුමන් තම පරිහරණයට ගෙන්වා ගත්තේය. මෙවන් අපරිමිත අමිල මෙහෙයක් අප රට දැය ආගමට ඉටු කළ මෙම උදාර මිනිසා, 1933 වසරේ අප්‍රේල් 29 වනදා සිය ජීවන ගමනට අවසන් තිත තැබුවේය.

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.