ඒ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනතට අනුව මේ වන විට වයස අවුරුදු 14 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස අර්ථ නිරූපනය කරනු ලබන බවත් ළමයින් පිළිබඳව යුක්තිය පසිඳලීම පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුළ ළමයා යන පදයේ විවිධාකාර අර්ථ නීරූපණ අන්තර් ගත වන බවත් අමාත්‍යාංශය පවසයි.
තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥා පනතට අනුව වයස අවුරුදු 16 සහ 22 අතර තැනැත්තන් තරුණ තැනැත්තන් බවට හදුන්වනු ලැබේ. ඇතැම් නීතිවල විවිධ වයස්වල තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපණය කර ඇති අතර මෙරට නීතියේ මෙම ඒකීයත්වය නොමැතිකම ජාත්‍යන්තරව මෙන්ම දේශීය වශයෙන් ද විවේචනාත්මක මතයකට භාජනය වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
නීතිය උල්ලංඝණය කර ඇති වයස අවුරුදු 16 ට වැඩි ළමයින්ට අධිකරණ මගින් බන්ධනාගාරගත කිරීමට හෝ තරුණ වරදකරුවන් සඳහා වන පුහුණු පැසැලට යැවීමේ දණ්ඩන නියම කරනු ලබන අතර මෙම ක්‍රියාමාර්ග ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ මෙරට බැදීම්වලට එකග නොවන බැවින් වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනය නියම නොකළ යුතු බව අමාත්‍යාංශය පවසයි. එබැවින් ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනතේ විෂය පථය යටතට ගැනෙන ළමයින් යන පදය මෙන්ම වයස අවුරුදු 18 ට අඩු සියලුම ළමයින් අර්ථ නිරූපනය කිරීම පිණිස එකී ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරිමට පියවර ගෙන තිබේ.
ඊට සමගාමීව තරුණ තැනැත්තෙකු යනු වයස අවුරුදු 18 සහ 22 අතර තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපනය කිරීම පිණිස තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට ද සංශෝධන ගෙන ආ යුතු බවට නිර්දේශ කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය සදහන් කළේ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥා පනත යටතේ තරුණ තැනැත්තෙකු යන පදය වයස අවුරුදු 16 සහ 22 අතර තැනැත්තෙකු වශයෙන් අර්ථ නිරූපණය කිරීම හේතුවෙන් මෙම නීති දෙකම එකවිට සංශෝධනය කිරීම අවශ්‍ය බවයි.
ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත සංශෝධනය කිරිමට පෙර තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනත සංශෝධනය කරනු ලැබුවහොත් වයස අවුරුදු 16 සහ 18 අතර ළමයෙකුට
පරිවාසය මගින් පාලනය කරන සහතිකලත් පාසැල්වලට යැවීමේ දණ්ඩනය පැනවීමට අධිකරණවලට නොහැකි වන නමුත් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනය පැනවිය යුතුව ඇති බැවින් මෙම අනපේක්ෂිත සිදුවීම වැළැක්විය යුතු බව තිබේ.
ඒ හේතුවෙන් මෙම පනත් දෙකම එකවර සංශෝධනය කිරීමට කටයුතු කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි. ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියේ 37, 39 සහ 40 වන වගන්තිවලින් නීතියට එරෙහි වන ළමයින්ගේ යුක්තිය පසිදලීම උදෙසා සහ අපරාධයක වින්දිතයින් වන ළමයින් සදහා යුක්තිය පසිදලීම දක්වා තිබේ.ළමයකු සිරභාරයට ගැනීම රඳවා තබා ගැනීම හෝ බන්ධනාගාරගත කිරීම අවසානාත්මක විසදුමක් වශයෙන් පමණක් හෝ සුදුසු වන කෙටිම කාලසීමාවක් උදෙසා පමණක් භාවිතා කළ යුතු බව ප්‍රඥප්තියේ සඳහන් වේ.
නිදහස අහිමි කළත් ළමයාගේ වැඩිම යහපත උදෙසා වැඩිහිටියන්ගෙන් වෙන් කොට තැබීම නොකළ යුතු වීම වඩාත් උචිත වන්නේ නම් මිස ඒ ළමයා වැඩිහිටියන්ගෙන් වෙන් කොට තැබිය යුතු බවට ද එම ප්‍රඥප්තියේ සහතික කර තිබේ. වැඩිහිටි අපරාධකරුවන් සමග බන්ධනාගාරගතවු ළමයින් හෝ තරුණ තැනැත්තන් එකී වැඩිහිටි අපරාධකරුවන්ගේ බලපෑම්වලට ගොදුරුවන බව හා ඒ තුළින් ළමයින් හෝ තරුණ තැනැත්තන්ගේ චරිතයට හානි කර ප්‍රති විපාක ඇති කරන බව ඉතා ප්‍රකට කරුණක් වන බැවින් ළමයින් බන්ධනාගාරය වෙත නොයැවීම හෝ වැඩිහිටි සිරකරුවන් සමඟ රඳවා නොතැබීම අනිවාර්ය බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.