Saturday, 31 October 2020

මස්සිනාගේ තබ්ලාව හොරෙන් ගහලා තබ්ලා විශාරදයකු වූ කලා පවුලේ බඩ පිස්සා - විශාරද මනෝජ් පීරිස්

Posted On Wednesday, 26 August 2020 04:58 Written by
Rate this item
(0 votes)

මනෝජ් මල්ලි තමයි අපේ පවුලේ බඩපිස්සා. සුදුම සුදුයි. කැරලි කොණ්ඩෙ. අපේ අම්මගෙ ලස්සන එහෙම පිටින්ම ගිහින් තිබුණේ මල්ලිට. ඒ නිසාම පවුලේ අපි විතරක් නෙවෙයි දකින අයත් ඒ ලස්සන හුරතල් දරුවට ගොඩක් ආදරේ කළා. මට අවුරුදු 18ක් විතර වෙනකොට අපේ ගෙදරට අමුත්තෙක් යන්න එන්න ගත්තා. ඒ මගේ අනාගත සහකරු සනත් නන්දසිරි. මහත්තයත් මල්ලිට ගොඩක් ආදරේ වුණා. මල්ලිත් එහෙමයි. ඒ දවස්වල මහත්තයා අම්පාරේ උහන මහා විද්‍යාලයේ උගන්වනවා. එයාගේ තබ්ලාව නුගේගොඩ අපේ ගෙදර තියලා යන්නේ. මට ඒක හරිම වටින වස්තුවක්.

 

මම තබ්ලාව හොඳට වහලා හඳුන්කූරු දුම් අල්ලලා තමයි කාමරේ තියන්නෙ. අපේ දඟකාර බඩපිස්සා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් හොරාට ඒ කාමරේට රිංගලා දඩබඩ දඩබඩ ගාලා තබ්ලාවට ගහගෙන ගහගෙන යනවා. මට ඉතින් හරිම කේන්තියි. මහත්තයා සති අන්තයේ ගෙදර ආවම මම එයාට කිව්වා මෙයා ගහලා තබ්ලාවට මොනව හරි වෙයිද දන්නෙ නෑ කියලා. මහත්තයා තරහ ගත්තෙ නැහැ. ආදරෙන් මල්ලිට ළඟට අඬගහලා “ඔයා තබ්ලා එක ගහන්න ආසයිද ” කියලා ඇහුවා. මල්ලි ගත් කටටම “හා” කිව්වා. මල්ලි තබ්ලාව කඩයිද කියල මට බයත් හිතුණා. මහත්තයා අපේ මමී එක්කත් කතාකරගෙන මල්ලිට තබ්ලාව පුරුදු කරන්න ලෑස්ති කරගත්තා.

ඊළඟ සතියේ සිකුරාද දවසක මහත්තයා වේලාසන ගෙදර ආවා. මමී කිරිබත් හදලා කෙසෙල්, කැවිලි ලෑස්ති කරලා තිබුණා. සුවඳ දුම් අල්ලලා තිබුණ තබ්ලාව ළඟ මල්ලි හරිම ආසාවෙන් ඉඳගත්තා. මහත්තයා පාඩමක් කියලා දීලා ඇක්සයිස් පොතක ලියන්නත් දුන්නා. ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හොඳට ප්‍රැක්ටිස් කරලා ලබන සතියේ ආවම ගහලා පෙන්නන්න කිවුවා. එදා හා පුරා කියලා මහත්තයා අපේ හුරතල් බඩපිස්සගේ අත තම්බලාවට තිබ්බා තිබ්බම තමයි. අද එයා ඉන්න තලයට එන්න පුළුවන් වුණේ මගේ මහත්තයාගේ ආශිර්වාදයයි මගෙ මල්ලිගෙ පිනටයි.”

ඇය කියන්නේ සෙහෙනසින් හදවත ම පුරවාගෙනය. ඒ ආදරණීය සහෝදරිය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද මල්කාන්ති නන්දසිරිය. මෙවර අක්කා-මලෝ විශේෂාංගය සරසන්නේ අක්කලා සිවුදෙනකු සහ අයියා කෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සෙකි. ඔහු විශාරද මනෝජ් පීරිස් ය. ඔහු මල්කාන්ති නන්දසිරි, කුමාර් පීරිස්, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනි, සකුන්තලා යන සොයුරු සොයුරියන්ගේ දයාබර මලණුවන් වන අතර මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද විජේරත්න රණතුංග හා ප්‍රවීණ ගායන ශිල්පී අබේවර්ධන බාලසූරියගේ මස්සිනාය. එදා හුරතල් දරුවකු ලෙස මහාචාර්ය සනත් නන්දසිරි වෙතින් තබ්ලා වාදනයේ මුල් පොත කියවූ ඔහු අද රටත් ලෝකයත් හඳුනන දක්ෂ තබ්ලා වාදන විශාරදයෙකි. ඔහු ලබා තිබෙන දෙස් විදෙස් සම්මාන සහ ගෞරව නාම රැසකි. චිත්‍රපට 3ක් සහ ටෙලිනාට්‍ය 2ක් ද සංගීතවත් කර ඇති විශාරද මනෝජ් පීරිස් වසර 15ක් තිස්සේ ස්වාධීන රූපවාහිනියේ ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩ සටහන සංගීතවත් කරයි. ඊට අමතරව ජනප්‍රිය රූපවාහිනි නාළිකාවක රියැලිටි වැඩසටහන් දෙකක් සහ තවත් රූපවාහිනී නාළිකා දෙකක වැඩසටහන් දෙකක් සංගීතවත් කරයි. 1986 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ සහ ෆෝචූන්ස් වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ ඔහු කලක් ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. පණ්ඩිත් අමරදේවයන්, විශාරද නන්දා මාලිනිය ඇතුළු කලා ශිල්පීන් රාශියක් සමඟ මේ වන විට රටවල් 42ක සංචාරය කරමින් වාදනයෙන් සහාය වී ඇති විශාරද මනෝජ් පීරිස් රයිගම් සම්මාන උළෙලේ එක්වරක් පමණක් පිරිනමන ලියෝනි කොතලාවල සම්මානය මෙවර ලබාදීමට නියමිතව තිබුණේ ද විශාරද මනෝජ් පීරිස්ටය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම සම්මාන උළෙල නොපැවැත්වුවද එය තමාගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් බව ඔහු කීවේය. තබ්ලා වාදනය පිළිබඳ ඔහු විසින් රචිත ශාස්ත්‍රීය කෘතිය එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙස ළඟදීම එළිදැක්වීමට නියමිතය. විශාරද මනෝජ් පීරිස් බාල වියේ සොඳුරු මතක අවදි කළේ මෙලෙසනි.

“අපේ පප්පගේ ගම මොරටුවේ. මමී නුගේගොඩ. මට මතක ඇති කාලේ ඉඳලම අපි පදිංචි වෙලා හිටියේ නුගේගොඩ. මම ඉස්කෝලේ ගියෙ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට. අපේ පප්පා හැරිසන් පීරිස් කාලයක් මැසෙන්ජර් පුවත්පතේ කර්තෘ විදිහට වැඩ කළා. මමී රෙජිනා පීරිස්. පප්පට ඒ දවස්වල එකෝඩියන් එකක් තිබුණා. පප්පා ඒක ප්ලේ කරද්දි අක්කලා හතරදෙනාම සින්දු කියනවා. අයියා නම් සංගීතය පැත්තට එච්චරම නැඹුරුවක් තිබුණේ නැහැ. හැබැයි එයා හොඳ ආට්ස්ට් කෙනෙක්. ඒත් අයියා කලා ක්ෂේත්‍රයට යොමු වුණේ නැහැ. අදටත් ඔහු වෙනත් ක්ෂේත්‍රයේ රැකියාවකයි නියැළී ඉන්නෙ”

ගායනයට උපන් හපන්කම් දැක්වූ සහෝදරියන්ගෙන් කලා ජීවිතයට ලැබුණු ආලෝකය ගැන විශාරද මනෝජ් පීරිස් සිහි කළේ සතුටිනි.

“ලොකු අක්කා මල්කාන්තිගේ සැමියා මහාචාර්ය සනත් නන්දසිරි තමයි මගේ සංගීත ජීවිතයේ මුල් ගුරුතුමා. මම සනත් අයියගෙ තබ්ලාව හොරෙන් ගහනවා කියලා අක්කා කිව්ව සිද්ධිය මටත් අද වගේ මතකයි. ඒ කාලේ අක්කලා එක්ක මමත් ළමා පිටියට යනවා. අක්කලා සින්දු කිව්වට මගෙ ආසාව තිබුණේ තබ්ලාවට. නිර්මලා අක්කා විවාහ වුණු විජේරත්න අයියා නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. “

ඔහු එහෙම කියද්දී පවුලේ ආදරණීය බඩපිස්සා ගැන මල්කාන්ති අක්කා මෙසේ කීවාය.

“පුංචි කාලේ මල්ලි හරිම දඟකාර චරිතයක්. අපේ ගේ තිබුණේ පාර අයිනෙ. ඉස්කෝලේ ඇරිලා ආව ගමන් පාරට දුවනවා බෝල ගහන්න. සරුංගල් අරින්නත් හරි කැමතියි. කොච්චර දඟ වුණත් මල්ලි පොඩි කාලේ ඉස්කෝලේ වැඩ හරියටම කරපු දරුවෙක්. එයාට උගන්වන්න අපි පස් දෙනෙක්ම හිටියා. ඒ නිසා එයා ඉගෙනීමේ කටයුතු හොඳින් කළා. මල්ලිගේ ජීවිතේ එයා වැඩිපුරම ආදරේ කළේ මමීට. මමීගේ මරණය එයාගේ ජීවිතේට ගොඩක් බලපෑවා. විශාල වේදනාවක් වින්දා. සිහියත් නැති වුණා මට මතකයි. මමීගේ, පප්පගේ වියෝවින් පසුව මල්ලි ගොඩක් හැදුණේ වැඩුණේ මගෙ ළඟ. මටත් මහත්තයාටත් මල්ලි දරුවෙක් හා සමානයි. අපේ දුව අනුරාධාටත් එයා හරිම ආදරෙයි. දුවත් එහෙමයි. දෙන්නා වෙලාවකට යාළුවො වගේ. මල්ලි නිතරම මගෙ අවවාද අනුශාසනා පිළිගන්නවා. ගායනයට කැමැත්තක් තිබුණට එයාට ඒකට ලොකු හැකියාවක් තිබුණේ නැහැ. මට හිතෙන්නෙ එයාගේ අත්දෙක හැදිලා තියෙන්නෙම තබ්ලා වාදනයටම තමයි. මල්ලි අද සිටින තත්ත්වය ගැන මමත් මහත්තයාත් අපේ පවුලේ හැමෝමත් ලොකු සතුටක් විඳිනවා. අපිට තාමත් එයා අපේ චූටි මල්ලිම තමයි. ඒ තරම් ම ආදරණීය චරිතයක්”

ඊළඟට ඔහු ගැන ආදරණීය මතකය අවදි කළේ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නිර්මලා රණතුංග ය.

“ඒ කාලේ අක්කලයි අයියලයි ක්‍රිකට් සෙල්ලම් කරද්දි මල්ලිව සෙල්ලමට ගන්නෙ නෑ එයා පොඩි නිසා. මල්ලි ගිහින් තරහට විකට් ගලවනවා. එතකොට මමී කියනවා අනේ පව් මල්ලිවත් සෙල්ලමට ගන්න කියලා. ඉතින් අක්කලාටයි අයියටයි දුකයි මල්ලි ගැන. විවාහ වුණාට පස්සේ මම පදිංචි වෙලා හිටියේ කැලණියේ. එහෙ ඉඳන් ගෙදර ආපු ගමන් මම කරන්නේ මල්ලිව නාවන්න එක්ක යන එක. චූටි කාලේ මල්ලි නාන්න ටිකක් හොරයි. ඉතින් මමී මට කියනවා මල්ලිව ඇදගෙන ගිහින් නාවන්න කියලා. මම කතා කළාම මල්ලි නාන්න යන්න එනවා. ඒක තමයි මට මල්ලිගේ චූටි කාලේ ගැන තියෙන හොඳම මතකය”

ඇය පැවසුවේ සිනාසෙමිනි. ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී ද සොහොයුරා ගැන මතකය අවදි කළේ සෙනෙහසිනි.

“ පවුලේ බාලයා නිසා මල්ලි හරිම හුරතල්. ඒ වගේම හුරුබුහුටියි. අපි පස්දෙනාම මල්ලිට ගොඩක් ආදරේ කළා. දඟ කළත් දඬුවමක්වත් දෙන්න හිතෙන්න නැති තරම් හුරතල්. කලාවට යොමුවෙයි කියලා නම් ඒ කාලේ හිතුණේ නැහැ. නමුත් පවුලේ පසුබිම එක්ක එයාටත් ඒ ආශාව ඇතිවුණා. මමයි අබේයි තමයි මල්ලිව මුලින්ම ඇමෙරිකාවේ සංචාරයකට එක්ක ගෙන ගියේ. අදටත් අපි හැමෝම මල්ලිට ආදරෙයි වගේම මල්ලිත් අපිට ආදරෙයි. එයා ආගමට ගොඩක් ලැදියි. දෙවියන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. වැඩිහිටියන්ට සලකන ගුණගරුක කෙනෙක්. විහිළු තහළු කළාට එයා අපේ පප්පා වගේ නිහඬ, තැන්පත් චරිතයක්. ඒ වගේම හරිම ලැජ්ජාශීලීයි. ”

කුමාර් අයියාට මෙන්ම සකුන්තලා අක්කාට ද මනෝජ් මල්ලී ගැන ඇත්තේ එවැනි සොඳුරු මතකයන්ය. ඒ අතර අක්කලා මෙන්ම අයියා ද ආදරණීය මල්ලී ගැන සිත් තැවුලින් සිටින කරුණක් ද වේ. ඒ ගැන මල්කාන්ති නන්දසිරි පැවසුවේ දොම්නසිනි.

“ මට තියෙන එකම වේදනාව එයා සහකාරියක් සොයාගන්න මැළිකමක් දැක්වීමයි. එයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. නමුත් තෝරා ගැනීම ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබෙන නිසා වෙන්නැති තවම විවාහයක් සිදු නොවුණේ. එයාට කිසිම අඩුපාඩුවක් නැහැ. ජීවිතේ හැමදේම තිබිලත් ඒ දේ විතරක් නොලැබේවිද කියලා හිතද්දි ගොඩක් දුකයි. එයාව ආදරෙන් බලාගන්න සහකාරියක් එයා ළඟ සිටිය යුතුයි කියලයි මම හැමවෙලාවෙම හිතන්නේ”

ඒ වදන් මවුවත්කමින් පිරී තිබේ. සහෝදරියගේ ඒ සෙනෙහස ළඟ ඔහු ද හැඟීම්බරය.

” මමී නැතිවුණාට පස්සේ හැමදේටම මං ළඟ හිටියේ අක්කලා. විශේෂයෙන් මල්කාන්ති අක්කා මට අම්මා වගේ. 2006 වෙනකම් මම මල්කාන්ති අක්කා ළඟ හිටියේ. අක්කලා හතර දෙනාටත් අයියටත් මම එදා වගේම ආදරෙයි. ඔවුනුත් එහෙමයි. අක්කලා විවාහ වුණාට පස්සේ මට ඔවුන් නිතර ළඟ නැති අඩුව දැනුණා. ඒත් කාලයත් එක්ක ඒ පාළුවට මම පුරුදු වුණා. සමහර වෙලාවට තනිකම කියන්නේ දරාගන්න ගොඩක් අමාරු දෙයක්. නමුත් දැන් ඒකට පුරුදු වෙලා. තනිකමත් සුන්දරයි කියලා හිතෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි හැමදේම සිදුවෙන්නෙ කියලා මම විශ්වාස කරනවා.”
උපුටා ගැනීමකි.

සුරේකා නිල්මිණි ඉලංගකෝන්
 රසඳුන 

Read 153 times Last modified on Friday, 11 September 2020 05:47