Saturday, 27 April 2024

සන්නස ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් ජය මාවතේ දරදඩු පුහුණුකරු - මහේල ජයවර්ධන Featured

Posted On Saturday, 07 November 2020 14:19

 

මහේල වත්මන් ක්‍රිකට් ලොව සැණකෙළියේ මහ මොළකරුවෙකි . අම්බානිගේ සල්ලි වැස්සේ තෙමෙන්නට පදම හොදින් දත් ඔහු ඔහුටම ආවේණික රිද්මයකින් මුම්බායි ඉන්දියන්ස් ජය මාවතක රැගෙන යන්නේය.

මහේල මුම්බායි ඉන්දියන්ස් භාර ගත් පසු කණ්ඩායම් විනයට අංක එක දුන්නේය. තම ක්‍රීඩකයින් ක්‍රමවත් කරන්නට එදා ඔහු අපූර්ව අදහසක් ගෙන ආවේය.කිසියම් ක්‍රීඩකයෙකු තරගයකදී හෝ ඉන් පිටතදී වරදක් කළහොත් විශේෂිත ඇදුමක් ඔහු වෙනුවෙන් වෙන් කළේය. යළි වෙනත් අයෙකු වරදක් කරන තෙක් කලින් ක්‍රීඩකයා කණ්ඩායම සමගින් වන සෑම විටම එම දඩුවම් ඇදුමින් සැරසිය යුතුය.

මහේලගේ මෙම දඩුවමට මුලින්ම ලක්වන්නේ කොල්කටා කණ්ඩායමෙන් මුම්බායි වෙත කැදවාගත් සූර්යකුමාර් යදාව් ය. වෙලාවට වැඩකරන හොද පුරුද්ද අමතක කල සූර්යකුමාර් වෙත මහේලගේ මෙම දඩුවම තදින්ම බලපෑවේය. මෙවර IPL තරග බිම හොල්ලන පිතිකරුවකු වන්නට ඔහුට හැකි වූයේ පුහුණුකරු මහේල ටොකු ඇන ඇන කියා දීපු පාඩම් නිසා බවයි ඔහු පවසන්නේ.

මුම්බායි පිළට වගේම ඉන්දීය ජාතික කණ්ඩායමේත් අනාගත බලාපොරොත්තුවක් වන ඉෂාන් කිෂාන් සම්බන්ධයෙන්ද අපූරු කතාවක් එළියට එන්නේය. පුහුණු සැසියකදී කිෂාන් වෙත පන්දුවක් මගහැරෙන අතර ඔහුගේ අලස ක්‍රීඩා විලාසය දුටු මහේල සැනෙකින් කෝප වන්නේය .

" ක්‍රිෂ් තමුසේ නිදිද .......? " මහ හඩින් එහෙම අහපු මහේල ඔහුව ළගට කැදවා කළ දේශනාව සමාජ මාධ්‍ය අතර හරි ජනප්‍රියය.

රාත්‍රී කාලයේ වැඩිපුර අවදිව හිටපු මේ තරුණ ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සුදානම් කළ මහේල ක්‍රමයෙන් ඔහුව වේලාසන නින්දට යවනවා පමණක් නොව ඔහුගේ උපරිමය කණ්ඩායම වෙත රදවන්නේය.

සමහර විට මහේලගේ ක්‍රිකට් ආගමනයේ ඔහු ලත් අත්දැකීම් මේ සියල්ලට හේතු වූවාට සැක නැත.

1997 දී මහේල SSC කණ්ඩායමට එනවිට දැවැන්තයින් රැසකගෙන් කණ්ඩායම සමන්විතය . අර්ජුන , ගුරුසිංහ , හේමන්ත වික්‍රමරත්න ආදීන් සමග මහේලට වෙන්වූයේ ආරම්භක පිතිකරු තනතුරයි. එය ඔහුගේ මංගල පළමු පෙළ තරගයද විය. බ්ලූම්ෆීල්ඩ් පිළට එරෙහි ඒ තරගයේ අර්ධ ශතකයද ඉක්මවා මහේල මතක හිටින ඉනිමක් දියත් කලේය. නමුත් දිනය නිමවන්නට ඕවර කීපයකට පෙර රුවන් කල්පගේ හමුවේ වැරදි පහරක් ගැසූ මහේල දැවී යන්නේය.

යොවුන් විය එළි පැත්තේ සිටි මහේල ප්‍රථම තරගයේ තම තරම ගැන සතුටින් SSC පඩිපෙළ නැග ක්‍රීඩාගාරයට ඇතුළු වනවාත් සමග කණ්ඩායම් නායක අර්ජුන යක්ෂාරූඩ විය. අමු සිංහලෙන් මහේල ඇමතූ ඔහු විකට්ටුව විසිකිරීම වෙනුවෙන් අපූරු දඩුවමක් දුන්නේය. ක්‍රීඩාගාරය ඇතුලට මහේල කැදවා නොගත් අර්ජුන පඩිපෙළ මත ඔහු ඉන්දවීය.

එදා එලෙස දඩුවම් විදි මහේල ලොව දකුණත් පිතිකරුවෙකු ලද ඉහළම ටෙස්ට් ඉනිම එම SSC පිටියේදීම ලබන්නේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකකදීම ශතක ලද ප්‍රථම ක්‍රීඩකයා බවටද ඔහු ඉතිහාසගත වන්නේ.

එදා අර්ජුන මහේලට නොකියා කියා දුන් පාඩම මෙදා මහේල අසල්වැසියාට බෙදන අයුරු හරි අපූරුය.

© මංජුල ලන්දෙකුඹුර

Read 746 times