Friday, 19 April 2024

සන්නස ක්‍රීඩා

බස්නාහිර පළාත 42 වැනි වතාවටත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගනී

Posted On Monday, 28 October 2019 14:23

සිව් දිනක්  තිස්සේ බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවත් වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය  මෙවරත් 42 වැනි වතාවටත් බස්නාහිර පළාත හිමි කර ගත්තේය.

ජාතික මහා ක්‍රිඩා උළෙල පසුගිය 24 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09 ම නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 2000ට වැඩි පිරිසක් ඊට සහභාගී වුවද, විශේෂත්වය වූයේ කිසිදු ශ්‍රී ලාංකික වාර්තාවක් මෙවර බිහි නොවීමයි.

පදක්කම් 258ක් ලබා ගත් බස්නාහිර පළාතට  මෙවරත් සමස්ත ශූරතාව හිමි විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීමේ රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ  යූ.තිවංක පෙරේරා සම්මාන දිනාගත් අතර කාන්තා  කඩුළු පැනීමේ  ඉසව්ව ජයගත් බස්නාහිර පළාතේ ඩබ්.වී.එල්.සුගන්ධි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. ඔවුන් දෙදෙනාට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මෝටර් රථ දෙකක් පිරි නැමුණු අතර එම මෝටර් රථ ඔවුන් වෙත ප්‍රදානය කිරීම ක්‍රිඩා අමාත්‍යතුමා  අතින් සිදු විය.

 බස්නාහිර පළාත් කණ්ඩායම රන් පදක්කම් 99ක්, රිදී පදක්කම් 78 සහ ලෝකඩ පදක්කම් 81ක් ලබාගත් අතර පදක්කම් 149ක් සමගින් සමස්ත අනුශූරතාව මධ්‍යම පළාතට හිමිවිය. රන් 51ක්, රිදී 38ක් සහ ලෝකඩ 60ක් මධ්‍යම පළාත සතුවූ අතර තෙවැනි ස්ථානය හිමිවූ වයඹ පළාතට පදක්කම් 109ක් එක්විය. (රන් 32, රිදී 33 හා ලෝකඩ 44) දකුණ, සබරගමුව, උතුරු මැද, ඌව නැඟෙනහිර සහ උතුරු පළාත් පිළිවෙළින් සිවුවැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා හිමිකර ගත්තේය.

ක්‍රීඩා උළෙලේ වාර්තා පිහිට වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ශ්‍රී ලංකා වාර්තාවක් සඳහා රු 100,000ක්ද ක්‍රීඩා උළෙලේ වාර්තාවක් සඳහා රු 50,000 ක්ද මුදල් ත්‍යාග ලබා දුන් අතර නව වාර්තා සඳහා රු100,000  මුදල් ත්‍යාග පිරිනැමිණි.තරඟාවලියට සහභාගී වූ සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම රුපියල් 5000ක් වටිනා කට්ටලයක්  ලබා දීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව  කටයුතු කර තිබුණි.

සමාප්ති උළෙල අමතමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසුවේ  පසුගිය වසරට සාපේක්ෂව  තරඟ ඉසව් සඳහා ජයග්‍රාහකයින්ට ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කර ඇති  බවත්  ලබන වසරේ දී රන් , රිදී, ලෝකඩ පදක්කම් සඳහා ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය තව දුරටත් ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය. ඔලිම්පික් පදක්කම්, සාක් රන් පදක්කම් දිනිය හැකි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් බිහි කිරීම මෙහි අරමුණ බවද ඒ මහතා සඳහන් කළේය.

 එළඹෙන ඔක්තොම්බර් 29 වන දිනට ජාතික මහා ක්‍රිඩා උළෙලට වසර 47ක් සපිරීමද විශේෂත්වයයි.

සමාප්ති උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක් වූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධමිමික මුතුගල මහතා ඇතුළු ක්‍රිඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන් රැසක්ද සහභාගී විය.

සමාප්ති උළෙල වර්ණවත් කරමින්   පළාත් 09 නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ත්‍රිවිධ හමුදා තුර්යවාදන කණ්ඩායම්  සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක් වී ආචාර පෙලපාළියක් ඉදිරිපත් කළ අතර ක්‍රීඩා උළෙලේ සමාප්තිය නිවේදනය කිරීමත් සමගින් ක්‍රීඩා උළෙල නිමාවට පත්විය.

Read 878 times