Tuesday, 16 April 2024

මිල ගණන් ප්‍රකාශ කිරීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කරයි

Posted On Saturday, 11 February 2017 10:28

භාණ්ඩයක් හෝ භාණ්ඩ අලෙවි කිරීමේ දී දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් මිල ගණන් ප්‍රකාශ කිරීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කරයි.


* භාණ්ඩයක් හෝ භාණ්ඩ අලෙවිකිරීමේ ප්‍රචාරණ දැන්වීම්වලට මිල සඳහන් කිරීම අනිවාර්යයි.

* 2011 සිට ක්‍රියාත්මක නීතිය යළි බල ගැන්වේ

* දැන්වීමක මිල සඳහන් නොකළොත් දඩය රුපියල් 100,000.00 ක් දක්වා

* පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නීතිය ක්‍රියාත්මක කරයි

භාණ්ඩ හෝ භාණ්ඩයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් යම් නිෂ්පාදකයකු, ආනයනකරුවකු, නියෝජිතයකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු හෝ විසින් දැන්වීම් ප්‍රචාරය කරන්නේ නම් එම දැන්වීම්වල භාණ්ඩයේ හෝ භාණ්ඩවල මිල පැහැදිලිව සටහන් කළ යුතු බවත් එසේ නොකරන නිෂ්පාදකයන්, ආනයනකරුවන්, නියෝජිතයන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ.

2011 ජනවාරි 07 වැනි දින නිකුත් කරන ලද අංක 1687/45 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මේ නීතිය ක්‍රියාත්මක කරයි. එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ නිෂ්පාදකයකු, ආනයනකරුවකු, නියෝජිතයකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු විසින් කිසියම් භාණ්ඩයක් හෝ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පුවත්පත්, චිත්‍රපට, රූපවාහිනිය, වීඩියෝ, ඕඩියෝ, ගුවන්විදුලිය, අන්තර්ජාලය හෝ වෙනයම් මුද්‍රිත, විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවල පළ කරනු ලබන හෝ පළ කරවනු ලබන හෝ සෑම වෙළෙඳ දැන්වීමක ම එම වෙළෙඳ දැන්වීමෙහි සඳහන් භාණ්ඩයේ හෝ භාණ්ඩවල සිල්ලර මිල සඳහන් කළ යුතු බවයි. තව ද යම් භාණ්ඩයක් හෝ භාණ්ඩවල එක් එක් මෝස්තරයක්, ප්‍රමාණයක, වර්ගයක හෝ ශ්‍රේණියක හෝ සිල්ලර මිල වෙන් වෙන් වශයෙන් දැක්වෙන පරිදි එම භාණ්ඩයෙහි හෝ භාණ්ඩවල සිල්ලර මිල දැන්වීමේ සඳහන් කළ යුතු බව ද එම ගැසට් නිවේදනය මගින් විධානය කර තිබිණි.

පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් 2011 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වූ මෙම විධානයන් ඇතැම් අවස්ථාවල දී කඩ කරනු බව පෙනීයන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිසි දැන්වීම් පරීක්ෂා කරමින් එම විධාන කඩකරන නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට, නියෝජතියන්ට, බෙදාහරින්නන්ට හා වෙළෙන්දන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

ඉහත නියෝග කඩකරමින් දැන්වීම් පළ කර ඇත්තේ පුද්ගලික සමාගමක් විසින්නම් එහි දී එම සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් උපරිම රුපියල් ලක්ෂයක දඩයක් නියමකිරීමටත් නියෝගය කඩකරමින් දැන්වීම පළකර ඇත්තේ තනි පුද්ගලයකු විසින් නම් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් උපරිම රුපියල් 10,000ක් දක්වා දඩයක් නියම කළ හැකි බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම විධානයන් තනි පුද්ගලයකු විසින් යම් නිශ්චල හෝ චංචල දේපලක් විකිණීම සම්බන්ධ දැන්වීම්වලට (වාහනයක්, ඉඩමක්, නිවසක් වැනි) අදාල නොවන බව ද පාරිභෝගික අධිකාරිය දන්වා සිටී.